19 ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගැනීමට මහින්දගෙන් බලපෑම් | VIDEO

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙස පුංචි ජන්දයෙන් ජයගත් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට බල කර සිටි.

රටේ පවතින ආර්ථික තත්වය හා  අස්ථාවරභාවය ආදී  සියල්ල වෙනස් කිරීම සදහා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට  කටයුතු කළ යුතු බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.

පොහොට්ටුව ලකුණින් පොදුජන පෙරමුණ යටතේ තරගකර පළාත් පාලන මැතිවරණයෙන්  ලබාගත්  ජයග්‍රහනය සම්බන්ධයෙන් සිය අනුගාමික පක්ෂ නායකයන් පිරිවරාගෙන 12 සඳුදා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමටනම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත්විය යුතු නොවේදැයි මාධ්‍යවේදියකු විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුයේ “ඔව් පැහැදිලියි. ඒකට අපි සහයෝගය දෙනවා,” යනුවෙනි.

එම යෝජනාව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම විසින් ගෙන එනු ලබන්නේදැයි  විමසන ලදුව  හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ, “නෑ ඉතිං අපිට ආණ්ඩුවෙන්නේ ඉල්ලන්න තියෙන්නේ. ඒක ආණ්ඩුවෙන් ගේන්න, මොකද අපි ගෙනාවොත් ඔය කට්ටිය විරුද්ධ වෙනවානේ,” කියාය.

ඒ සදහා රටේ මතවාදයක් ඇති කිරීමට මාධ්‍යවේදීන්  කටයුතු කළ බව සදහන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තවදුරටත් අවධාරණය කළේ රටේ පැහැදිලි මතවාදයක් පවතින බවත් එම “ජනතා මතයට ඇහුන්කන් දීමට රජයක් පුරුදු විය යුතු” බවත්ය.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව සිදු කළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව  මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන අතර හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටින පරිදි  කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතාව මත ව්‍යවස්ථාව සංශෝධනය සිදු කළ යුතුය.

Related posts

Comments are closed.

Top