මහාශිව රාත්‍රිය උදාවේ උතුරේ කෝවිල් කීපයකට හානි

හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් සමරන මහා ශිව රාත්‍රී දිනට පෙර දිනයේ රාත්‍රි කාලයේදී  මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනක පිහිටි හින්දු කෝවිල් වල තිබු පිළිම වලට කිසියම් පිරිසක් විසින් අළාභහානි කර ඇත.

තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේ මීට වසර 30 ට පෙර (1988) ඉන්දීය හමුදාව විසින් ඉදිකරන ලද ලිංගේෂ්වර කෝවිලේ ස්ථාපිත කර තබු ගණදෙවි, ශිව සහ බුදු පිළිම ද 12 සදුදා රාත්‍රියේ  දී පැහැරගෙන ගොස් තිබේ.

මන්නාරම තාලුපාඩු ප්‍රධාන මාර්ගයේ කීරී හන්දියේ මෙයින් වසර 18 ට පෙර ස්ථාපිත කරන ලද ආලෙයඩි පිල්ලෙයාර්  පිලිමයටද එම පිරිස විසින් අලාභහානි  කර ඇති බව ගගන මන්නාරම වාර්තාකරු පවසයි.

මේ අතර මන්නාරම තල්ලාඩි ගුවන් පථය  ඉදිරිපිට තිබු ගනපති පිළිමයද ඊයේ රාත්‍රියේ  සිට අතුරුදහන් බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

ලොව පුරා හින්දු බැතිමතුන් විසින්  13 අඟහරුවාදා   මහා ශිව රාත‍්‍රි දිනය සමරනු ලබයි.


ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය අද වැනි දිනක සිදුවු බව හින්දු විශ්වාසයයි.

ශ්‍රී ලාංකික මෙන් ම ලොව වෙසෙන හින්දු බැතිමතුන් 13 අඟහරුවාදා   රාත්‍රියේ  සිට 14 බදාදා උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව    රාත්‍රී දිනය සමරයි.

නායක පැතුම්

”මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල්වන ”ප්‍රඥා ලෝකය පැතිරේවා” යන  ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසි හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස ශීලය සමාදම් වන්නා  වූ මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා යැයි   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටි.

මහා ශිව රාත්‍රී උත්සවය සමරන සමස්ත හින්දු ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් වූ තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවායි  මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි.

Related posts

Comments are closed.

Top