ඉඩම් ඉල්ලන උද්ඝෝෂන අයිතිය උසාවියෙන් තහවුරු කෙරේ

වසර ගණනාවක් තිස්සේ හමුදාව වාඩිලා සිටින තම පාරම්පරික ඉඩම් නිදහස් කරන ලෙස උතුරේ ජනතාව විසින් දිගින් දිගටම දියත් කරන උද්ඝෝෂණ නවතාදැමීමට පොලීසිය විසින් දැරූ උත්සාහයක් අසාර්ථක  වී තිබේ.

හැත්තෑ  වැනි නිදහස් සමරුව දා ඉඩමේ අයිතිය ඉල්ලා   විරෝධතාවයක යෙදුන කේපාපුලව් ගම් වැසියන්ට එරෙහිව මුල්ලියවලේ පොලීසිය විසින් අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගත් මුලතිව්  දිසා අධිකරණය  උද්ඝෝෂණ සිදු කිරීමට එම ජනතාව සතු  අයිතිය   තහවුරු කර ඇත.

නිදහස් දා උද්ඝෝෂණයේ යෙදුනවුන් අතරින්  පස් දෙනකුගේ නම් ඇතුලත් කර පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුනත් එම නම් අතර එක් අයෙකු එදින විරෝධතාවයට සම්බන්ධ නොවුන බව අධිකරණයට දැනුම් දෙමින් කේපාපිලව් ගම් වැසියන්  දැනුම් දී ඇත්තේ තම ඉඩම් වල නැවත පදිංචි කළේ නම් තමන් මෙලෙස විරෝධතාවයේ නොයෙදෙන බවයි.

මුලතිව් දිසා අධිකරණයේ 12 සඳුදා  නඩුව විභාගයට ගත් අතර චෝදනාවට ලක් වු පාර්ශවය වෙනුවෙන් නීතිඥ වී. මනිවන්නන් සහ නීතිඥ පරම්ජෝති ඉදිරිපත් වු බව ගගන වාර්තාකරු සඳහන් කරයි.

මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින් කුමාර් එහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමේ අයිතිය ජනතාව සතුව පවතින අතර සාමයට බාධා නොවන අයුරින් ඔවුන් කටයුතු කළ යුතු බවයි.

පොලිස් ලොක්කාගේ තර්ජන

පෙබරවාරි 4 නිදහස් දා වන විට දින 339 ක් තිස්සේ අබණ්ඩව  සිය ඉඩමේ අයිතිය ඉල්ලන ජනතාව වෙත පැමිණි මුලතිව් දිසාව බාර පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත විරෝධතාකරුවන්ට, සහ හින්දු පූජකවරයකු ට සැර පරුෂ ලෙස බැන වැදෙනු වීඩියෝ ගතවී තිබුනි.

උද්ඝෝෂකයන් හමුදා කඳවුර ඉදිරිපිටින් එලවා දමන්නට උසාවි යන බවට පොලිස් අධිකාරි තර්ජනය කරනුද එහි දැක්විනි.

කුඩා දරුවන් සහ ආගමික නියෝජිතයන් ඉදිරියේ පොලිස් නිලධාරීන්ගේ හැසීරීම පිළිකුල් සහගත බවට  විරෝධතාකරුවෝ එදිනම එම ක්‍රියා කලාපය  හෙලා දුටහ.

Related posts

Comments are closed.

Top