ජාත්‍යන්තර පුණ්‍යායතනයකට ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා  

 

සිය ආයතනයේ ආධාර සේවකයන් සම්බන්ධ ලිංගික අපචාර චෝදනා සමගින් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වන ප්‍රකට ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර ආධාර ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන විධායකවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

2011 හයිටි රාජ්‍යයේ ආධාර සැපයීමෙහි නිරත වී සිටියදී ගණිකාවන් ඇසුරු කළ බවට ඔප්පු වන විමර්ශනයක් සම්බන්ධ කරුණු වසන් කරගෙන සිටින්නේ යැයි බ්‍රිතාන්‍ය පුණ්‍යායතනය වෙත චෝදනා එල්ල වී ඇත.

තමන් “ලජ්ජාවට” පත්වන බවත් එහි සම්පුර්ණ වගකීම බාර ගන්නා බවත් විධායිකා පෙනී ලෝරන්ස් පවසන්නීය.

ඇය බ්‍රිතාන්‍ය ඔක්ස්ෆෑම් ආයතනයට සම්බන්ධ වී ඇත්තේ 2006 දීය. ඒ අන්තර්ජාතික වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස රටවල් 60 ක කණ්ඩායම් සඳහා නායකත්වය ලබා දීමට බව එම වෙබ් අඩවියේ සඳහන්වේ.

“හයිටි සහ චැඩ් රාජ්‍ය වලදී  අපේ  කාර්යමණ්ඩලවල  හැසිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගැනීමට නොහැකි වුනු නිසා  තමයි මේ ගැටලුව පැන නැඟී ඇත්තේ,” යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

“චැඩ් හි සේවයේ නියුතුව සිටි, රටවල් දෙකේ අධ්‍යක්ෂවරයා හයිටියට යාමට කලින් ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සහ ගණිකාවන් යොදා ගැනීම සම්බන්ධයෙන්- මෙම චෝදනාව ඉස්මතු වුණාද කියන කරුණ පැහැදිලි මදි.”

නැවත විමසීමක් අනවශ්‍ය බව ඔක්ස්ෆෑම් සංවිධානය පැවසුව ද බ්‍රිතාන්‍ය රජයේ පුණ්‍යායතන කොමිසම විසින් එම සිදුවීම පිළිබඳව නිත්‍යානුකුල පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් එමඟින් ආවරණය වන විෂයපථය සම්බන්ධ කරුණු මෙතෙක් නිකුත් කර නැත.

 

දැරිවියන් සිටි බව ඔප්පු වී නැහැ

2010 හයිටියට බලපෑ දරුණු භුමි කම්පාවෙන් පසුව එරට ඔක්ස්ෆෑම් අධ්‍යක්ෂ රෝලන්ඩ් වැන් හොවමෙරන්, ආයතනය විසින් තමන්ට ලබාදුන් කුලී නිවසේ දී වෛශ්‍යාවන් ඇසුරු කර ඇතැයි ටයිම්ස් පුවත්පත් මඟින් පසුගියදා චෝදනා එල්ල කර තිබුණි.

හයිටියේ ජේෂ්ඨ තනතුරු ලබා දීමට පෙර චැඩ් හි සිටි රෝලන්ඩ් වැන් ගේ සහ තවත් පුද්ගලයකු ගේ පැටිකිරිය ගැන ඔක්ස්ෆෑම් සංවිධානය කරුණු දැනගෙන සිටි බව පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පුණ්‍යායතනය පවසන්නේ බාල වයස් දැරිවියන් මේ සඳහා සම්බන්ධ කරගෙන ඇතැයි නැගෙන චෝදනා ඔප්පු වී නැති බවයි.

ඔක්ස්ෆෑම් ආයතනය විසින්ම 2011 දී මෙහෙයවනු ලැබූ විමර්ශනයකින් අනතුරුව රෝලන්ඩ් වැන් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් සිය තනතුර වලින් ඉල්ලා අස් වී ඇති අතර තවත් සිව් දෙනෙක් තනතුරින් නෙරපා ඇත.

හයිටි රාජ්‍යයේදී “බරපතල වරදක්” සිදුවී ඇතැයි ප්‍රසිද්ධ වාර්තාවක් නිකුත් කරමින් සංවිධානය ප්‍රකාශ කළ නමුත් එල්ල වී ඇති චෝදනා පිළිබඳව වැඩිදුර විස්තර සපයා නොතිබුණි.

ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය මුණිවත රැකීම ගැන ජාත්‍යන්තර විවේචන රැසක් මේ වනවිටත් එල්ල වෙමින් තිබේ.

තමන් සම්පුර්ණ පැහැදිලි සහ උපරිම විනිවිදභාවයක් ඔක්ස්ෆෑම් වෙතින් අපේක්ෂා කරන බව යුරෝපා කොමිසම ද අවධාරණය කර ඇත.

Related posts

Comments are closed.

Top