හමුදාපති නිර්භීත නම් ප්‍රගීත් පරීක්ෂණයට සහාය දෙන්න: නියෝජ්‍ය ඇමැති | VIDEO

අට අවුරුද්දකට පෙර අතුරුදහන් කරනු ලැබූ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමට අදාළ ලිපිගොනු ආගිය අතක් නැති බව පෙන්වා දී ඇති හමුදාපතිවරයාට “නිර්භීත වී” එම පරීක්ෂණ වලට සහාය වන ලෙස බලකර සිටින  ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට අවධාරණය කරයි.

“මහේෂ් සේනානායක හමුදාපති තුමා, එතුමා හරි මනුස්සයෙක් නම්, එතුමා නිර්භීත කෙනෙක් නම් එතුමාට කෝපරේට් (සහයෝගය) කරන්න පුළුවන්,” යයි  නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කොළඹදී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ තමන්ද ඉන්නා ආණ්ඩුවේ නායකත්වය ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ හමුදා නිලධාරීන් ට විරුද්ධව පියවර ගැනීමට ඉඩ නොදෙන බවයි.

“ඒ අය නීතිය ඉදිරියට ගේන්න ජනාධිපති තුමා සහ අගමැති තුමා පස්ස ගහනවා,” යි සමාජ සේවා සමාජ සුබසාධක හා සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ ලිපිගොනු විනාශ කර තිබිය හැකි බවට ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් අනුව ඒ තොරතුරු සැඟවීමේ අපරාධයට යුද හමුදාව වගකිව යුතු බව සන්ධ්‍යා එක්නැලිගොඩ මීට ඉහතදී අවධාරණය කර තිබේ.

නීතියේ අසමාන සැලකිලි 

හමුදා නිලධාරීන්ට සහ බෞද්ධ භික්ෂුන් ඇතුළු බලවතුන්ට  එක් ආකාරයකටත්, දුප්පත් සාමාන්‍ය ජනතාවට වෙනත් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක වන බවට දොස් පැවරූ රන්ජන් රාමනායක  අමාත්‍යවරයා අවධාරණය කළේ  ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වෙනස් කළ යුතු බවයි.

“අවුරුදු තිහක් යුද්ධ කරපු රණවිරුවන්ට එක නීතියක්, ආගමික නායකයන්ට වෙන නීතියක්, දේශපාලකයන්ට වෙන නීතියක් සහ අඹගෙඩි හයක් හොරකම් කළ අය කෙළින්ම ඇතුලට දාන්න…” ආදී වශයෙන් නීතිය අසමාන ලෙස ක්‍රියාත්මක වන බව පෙනී ගිය අවස්ථා කිහිපයක් පිළිබඳව ඔහු සඳහන් කළේය.

හමුදා නිලධාරීන් දඬුවමින් ගැලවී යන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

“ඒගොල්ලන්ට අතුරුදහන් කරන්න පුළුවන්, මිණී මරන්න පුළුවන්, ගෙවල් වලට ඇවිල්ලා වෙඩිතියන්න පුලුවන්, රත්තරන් හොරකම් කරන්න පුළුවන්.”

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී 2010 ජනවාරි 24 දා ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹට ආසන්නයේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන යුද හමුදා ඔත්තු සේවයේ නිලධාරීන් අට දෙනාම 2016 මැයි මාසය වනවිට ඇප ලබා නිදහස්ව ගොසිනි.

ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයකින් ‌අමාත්‍ය රන්ජන් රාමනායකට අධිකරණයට අපහාස කළ බවට චෝදනා නගා ගොනුකර ඇති පෙත්සමක්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්තු 23 වැනිදාට සලකා බැලීමට නියමිතය.

 

Related posts

Comments are closed.

Top