ඔරන්ඔටන් වානරයන් ලක්ෂයක් මරා දාලා 

 

ආසියාවේ විශාලතම දූපත වන බෝර්නියෝහි වාසය කළ ඔරන්ඔටන් ලක්ෂයකට අධික ප්‍රමණයක් ගෙවීගිය වසර 16 ක කාලයක් තුලදී මරා දමා ඇතැයි විමර්ශනයක් මඟින් හෙළිදරව් කරගෙන තිබේ.

ලොවෙන් තුරන් වී යාමේ දැඩි අවදානමකට මුහුණ පා සිටින මෙම වානර විශේෂය පිළිබඳව 1999 සිට 2015 දක්වා සිදුකළ සමීක්ෂණ මඟින්, අනාවරණය කරගත් කරුණු “මනස කලම්බන” බව එය මෙහෙයවූ විද්‍යාඥයෝ පවසති.

ආපසු හැරවිය නොහැකි මේ විනාශය සඳහා ප්‍රධාන වගඋත්තරකරුවන් බවට පත්වන්නේ වන විනාශය, දැව කර්මාන්තය, පාම්තෙල් නිෂ්පාදනය, පතල් හා කඩදාසි කම්හල් ය.

කරන්ට් බයෝලොජි නම් ද්විමාසික සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන්ව ඇත්තේ ඉතිරිව ඇති වනාන්තර ප්‍රදේශවලින් පවා මෙම ක්ෂීරපායින් “අතුරුදහන්” වීමට පටන්ගෙන ඇති බවයි.

පළිගැනීමට මරාදමයි

“මින් අදහස් වෙන්නේ ඔරන්ඔටන් සත්වයින් විශාල ප්‍රමාණයක් නිකරුනේ මරා දමා ඇති බව,” යනුවෙන් සමීක්ෂණයේ ප්‍රධාන පර්යේෂක වශයෙන් කටයුතු කළ ජර්මනියේ පරිණාම මානව විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ මරියා වොයිට් පැවසුවාය.

සතුන් දඩයම්කරුවන්ගේ ඉලක්කයක් වී ඇති සේම බෝග විනාශ කිරීම නිසා පළි ගැනීමක් වශයෙන් උන් මරා දැමෙන බව මරියා වොයිට් සහ ඇගේ පර්යේෂණ සහයකයෝ පවසති.

එය මින් පෙර සැලකුණේ එතරම් ගණන් ගත නොයුතු තර්ජනයක් ලෙසිනි.

වානරයන් වෙත උවමනාවෙන් එල්ල කරන ප්‍රහාර වලට විරුද්ධව නැඟී සිටින ලෙස විමර්ශකයන් මලයාසියා සහ ඉන්දුනීසියා පාලකයන් ගෙන් ඉල්ලා සිටියි.

එසේම බෝර්නියෝ දුපතේ ස්වභාවික සම්පත් මේ වනවිටත් “දරාගත නොහැකි මට්ටමින්” සුරා කෑමකට ලක්වෙමින් තිබෙන බව ද ඔවුහු පවසති.

ඔරන්ඔටන් ජීවින් ආරක්ෂා කරගැනීම සඳහා නව වැඩපිළිවෙලක් නොයෙදුවහොත් ඉදිරි වසර 35 දී මෙම සංඛ්‍යාව තවත් 45,000 කින් පමණ ඉහල යනු ඇතැයි පර්යේෂකයෝ අනතුරු අඟවති.

Related posts

Comments are closed.

Top