ශ්‍රී ලංකාවේ සෙන්පතියකුගේ ලෙබනන් ගමන UN අත් හිටුවයි

සාමසාධක මෙහෙයුම් සඳහා පිටව ගිය ශ්‍රී ලංකා යුද හමුදා බලකායකට අණදීම සඳහා මැදපෙරදිග යාමට සැරසී සිටි ශ්‍රී ලංකාවේ යුද සෙන්පතියකු එක්සත් ජාතීන් විසින් නවත්වා තිබේ.

ලෙබනනයේ 12 වැනි සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කර්නල් රත්නප්පුලි වසන්ත කුමාර හේවගේ යැවීම එක්සත් ජාතීන් විසින් අත් හිටුවා ඇත්තේ ඔහු නිසි පූර්ව පරීක්ෂාවකට ලක් නොකරන ලද බවට දෝෂ දර්ශනයට ලක්වීමෙන් අනතුරුවයි.

මානව හිමිකම් සහ  දෙමළ සංවිධාන විසින් සාමසාධක මෙහෙයුම් ප්‍රධානී ජෝන් පියේ ලක්රුවා වෙත විරෝධය පල කරමින් ලියන ලද ලිපියකින් පෙන්වා දී තිබුනේ යුද අපරාධ චෝදනා ලබන ප්‍රහාර දියත් කළ බලසේනා වල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි ලුතිනන් කර්නල් වසන්ත හේවගේ එක්සත් ජාතීන්ගේ රාජකාරියේ යෙදැවීම නොහොබිනා බවයි.

ලිපිය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනුම් දී තිබුනේ  “නැවත විමර්ශනයක් කරන තුරු” ලුතිනන් කර්නල් හේවගේ ලෙබනන් යාම අත් හිටුවා ඇති බවයි.

“විමර්ශනය අවසානයේ මේ නිලධාරියා සේවයේ යෙදවීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැ,” යි එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ ප්‍රකාශක ෆර්හාන් හක් ගවේශනාත්මක මාධ්‍යවේදී මැතිව් රසල් ලී විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව 19 සඳුදා නිව්යෝර්ක් නුවරදී පවසා සිටියේය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) සඳහා යැවෙන 12 වැනි සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරියා ලෙස වසන්ත හේවගේ සුදුසු බවට තෝරා ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමයි.

විමර්ශනයට ආණ්ඩුවේ සහාය  

ඔහුගේ පසුබිම පිළිබඳව එජා සංවිධානය නැවතත් ශ්‍රී ලංකා රජයෙන් තොරතුරු ඉල්ලා තිබේ.

“නිලධාරියාගේ පසුබිම පිළිබඳව අපි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලය සමග සන්නිවේදනයේ යෙදී සිටින අතර ශ්‍රී ලංකාව අපගේ විමසීම් වලට පූර්ණ සහාය දක්වමින් සිටී,” යි ෆර්හාන් හක් ප්‍රකාශ කළේය.

“සිදුවිය හැකිව තිබූ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වාර්තා එක්සත් ජාතීන්ගේ සංවිධානය බරපතල කොට සලකයි. එක්සත් ජාතීන්ගේ රාජකාරියේ යෙදී සිටින සියලුම නිලධාරීන් කාර්යක්ෂමතාව, නිපුණතාව සහ අවංක භාවය මෙන්ම මානව හිමිකම් වලට ගරු කිරීම හා කැපවීම පිළිබඳ ඉහලම ප්‍රමිතියෙන් යුතුවීම සහතික කිරීමට අපි ප්‍රතිපත්තිමය වශයෙන් බැඳී සිටිමු.”

ලුතිනන් කර්නල් හේවගේ එක්සත් ජාතීන්ගේ රාජකාරියට නුසුදුසු බවට චෝදනා කරමින් යවන ලද ලිපිය ලැබුනු බව සහතික කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික්  නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ සාම සාධනයට නිලධාරීන් තෝරා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අභ්‍යන්තරයෙන් මෙන්ම පිටතින්ද තොරතුරු සොයා බලන බවයි.

ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරි සඳහා 12 වැනි සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ ඛණ්ඩ දෙකක් සඳුදා  වනවිට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දැනුම් දී තිබේ.

එහි අවසන් භට පිරිස දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 6 දිනය.

Related posts

Comments are closed.

Top