ලිංගික අපචාර චෝදනා ලබන ඔක්ස්ෆෑම් සඳහා දහස් ගණනකගේ ආධාර නවතී 

 

ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර පුණ්‍යායතනයේ කාර්යමණ්ඩල සේවකයන් කිහිපදෙනෙක් හයිටියේ දී ගණිකාවන් ඇසුරු කළ බව හෙළිවීමෙන් පසු ආයතනය වෙත අඛණ්ඩව පරිත්‍යාග ලබාදුන් පුද්ගලයන් 7000 ක් පමණ ආධාර සැපයීම නවතා තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ජාත්‍යන්තර සංවර්ධන කමිටුව හමුවේ 20 අඟහරුවාදා පෙනී සිටි ඔක්ස්ෆෑම් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ගෝල්ඩ්රින්ග් මේ බව හෙළිකොට ඇත්තේ හයිටි රටේ ජනතාවට සහ ආධාර සේවකයන් ලබාදුන් පුළුල් සේවාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් සමාවද අයදිමිනි.

පුණ්‍යායතනයේ තවත් ජේෂ්ඨ විධායක නිලධාරීන් දෙදෙනෙක් ද මෙම හදිසි  සැසියේදී කරුණු දක්වා තිබේ.

මතබේදයට තුඩුදුන් අර්බුදය පිළිබඳ කරුණු අනාවරණය වූ තැන් පටන් මේ දක්වා ඔක්ස්ෆෑම් සේවකයන් ඈඳුණු මෑතකාලින සහ අතීත ලිංගික අපචාර චෝදනා 26 ක් ඇතැයි මාර්ක් ගෝල්ඩ්රින්ග් පවසා ඇත.

ඉන් චෝදනා 16 ක්ම එක්සත් රාජධානියෙන් පිට ඒවා ය.

එසේම පුණ්‍යායතනය විසින් 2016 දී චෝදනා 53 ක් විමර්ශනයට ලක් කර ඇති බව “සේව් ද චිල්ඩ්රන්” අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් වෝල්ට්කින්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

 

ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ගෝල්ඩ්රින්ග්

ප්‍රකාශයට සමාව දෙන්න

ඔක්ස්ෆෑම් ආයතනය වෙනුවෙන් ගතු කීමට යාමේදී “දරුවන් තොටිල්ල තුළ මරා දැමු” බවට කළ ප්‍රකාශය පිළිබඳව ද ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ගෝල්ඩ්රින්ග් සමාව ඉල්ලා ඇත.

“ප්‍රහාරයේ වේගවත්බ ව සහ රුදුරු ස්වභාවය ඔබ පුදුමයට පත් කරයි. අපි මොනවද කළේ? අපි බිළිඳුන් තොටිල්ලේ ඉඳිද්දි මරා දැමුවා?” යනුවෙන් ගාඩියන් පුවත්පත සමඟ පසුගිය සතියේදී පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඔහු පැවසුවේය.

“පීඩනය යටතේ” සිටියදී තමන්ගෙන් පිටවූ වචන පිළිබඳව “අතිශයින් කණගාටු” වන බව ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් 2013 දී බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ආධාර ආයතනයට එක්වූ ගෝල්ඩ්රින්ග් පැවසුවේය.

ලිංගික අපචාර සිදු කළ බවට චෝදනා ලැබූ ඔක්ස්ෆෑම් කාර්යමණ්ඩල සේවකයන් තිදෙනකු මිට වසර හතකට ඉහතදී විමර්ශනයක් පැවැත්වෙද්දී සාක්ෂිකරුවන්ට කායික තර්ජන පමුණුවා ඇති බව හෙළිකරන අභ්‍යන්තර විමර්ශන වාර්තාවක් ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර පුණ්‍යායතනය විසින් 19 සඳුදා ප්‍රකාශයට පත් කරන ලද්දේ කරුණු දැන දැනම වසන් කරන බවට දිගින් දිගටම පිටතින් එල්ල වූ පීඩනය හමුවේ ය.

Related posts

Comments are closed.

Top