“පොහොට්ටුව ඊළමක් වී පිපේවි” මහින්දට අනතුරු ඇඟවීමක් | VIDEO

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව උතුරේ ඊළමක් හැදෙනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකින විපක්ෂ නායකයා එය අහිංසක සිංහල ජනතාව මුලා කරන  “වෛරක්කාරී, විසකුරු, දුෂ්ට හා බොරු ප්‍රචාරයක්” බවට අනතුරු අඟවා සිටී.

එවැනි ප්‍රචාර මගින් “බාල දේශපාලන වාසි ගැනීමට තිබෙන ලෝභය” අතහරින ලෙස දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයාගෙන් ඉල්ලා සිටියේ මැතිවරණයෙන් පසු මුල්ම වතාවට රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයේ පැවති වර්තමාන දේශපාලන අඩස්සි වීම පිළිබඳව විවාදයට සහභාගි වෙමිනි.

“ඔබ මේ න්‍යාය පත්‍රය හඹා ගියොත් නම් ඊළම පිබිදේවි,” යි විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ ඇතුළු අනුගාමිකයන්ට කියා සිටියේය.

“අපි හින්දා නොවේ. ඔබේ නෙලුම් පොහොට්ටුව නිසා. ඔබේ නෙලුම් පොහොට්ටුව ඊළමක් වෙලා පිපේවි.”

දෙමළ දේශපාලන පක්ෂ රට බෙදීම වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුනු බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයන් ගෙනගිය ප්‍රචාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ විපක්ෂ නායකයා තමන් මැතිවරණ ප්‍රචාරයේ යෙදුනු උතුරු නැගෙනහිර කිසිම තැනක රට බෙදීමට කතා නොකළ බව පාර්ලිමේන්තුවේ කියා සිටියේ කෝපයෙනි.

“අපි කතා කළේ එක්සත්, නොබෙදුනු, නොබෙදිය හැකි තනි රටක් තුලවූ අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ, හරවත් බලය බෙදීමක් සහිත දේශපාලන විසඳුමක් ගැනයි,”  යනුවෙන් ඔහු ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෙනහැර දැක්වීය.

මහින්ද තමන්ම රවටා ගැනීමක්

ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් බලවේග සිංහල දකුණේ ගම්මාන සහ පන්සල් වල ගෙනගිය ප්‍රචාරය අහිංසක සිංහල ජනතාව රැවටීමක් බවට ආර් සම්බන්ධන් කනගාටු විය.

“මේක දකුණේ අහිංසක සිංහල ජනතාව රැවටීමක් විතරක් නෙවෙයි, තමන්ද ඇතුළු සකල ජනතාවම රැවැට්ටීමක්.”

අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් අතුරු වාර්තාවක් සකස් කළ මෙහෙයුම් කමිටුවටද දායකවූ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අනුමත කොට, මැතිවරණ වේදිකාවේ ඊළම් සටන් පාඨය සරණ යාම විපක්ෂ නායක ආර් සම්බන්ධන් කම්පාව පල කළේය.

“කවුරුවත් මෙහෙයුම් කමිටුවේදී ඊළම ගැන කතා කළේ නෑ. ඔබ එක බාරගත්තා. ඒ ක්‍රියාදාමයට ඔබ එකඟ උනා. හදිසියේම, මහින්ද රාජපක්ෂ කියනවා ජනතාව ප්‍රවේසම් නොවුනොත් ඡන්දෙන් පස්සේ ඊළම පිබිදෙයි කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් පළාත් පාලන මැතිවරණය දිනාගනිමින් හිමිකාරගත්තේ  මහින්ද රාජපක්ෂ 2015 ජනවාරියේ ලබාගත් ඡන්දයටත් අඩු බව සිහිපත් කර දුන් විපක්ෂ නායකයා එය “කලබල වීමට කාරණයක් නොවේ” යයි පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

 

Related posts

Comments are closed.

Top