බණ්ඩාරවෙල බසයේ බෝම්බය ත්‍රස්ත ක්‍රියාවක් නොවේ| VIDEO

මගීන් දහනම දෙනකුට තුවාල සිදු කරමින් පෞද්ගලික බස් රථයක් තුළ සිදුවු  පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවට යුද හමුදාව සහතික වෙයි.

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබුවන් අතරින්  හත් දෙනකු යුද හමුදාවේ සහ පස් දෙනකු ගුවන් හමුදා සාමාජිකයන් වන අතර අනෙක් හත් දෙනා සිවිල් පුද්ගලයන්  බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

තුවාල ලැබුවන් අතුරින් බරපතල තත්වයේ පසුවන්නන් දෙදෙනාම හමුදා සාමාජිකයන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ 21 බදාදා පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදිය.

බස් රථය තුළ සිදුවු පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවට පවසන්නේ කුමන සාක්ෂියක් පදනම් කරගෙනදැයි මාධ්‍යවේදියකු විමසු විට හමුදා ප්‍රකාශක සදහන් කළේ ” කරුණු තියෙන්න එපැයි ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා තහවුරු කරන්න” යනුවෙනි.

යාපනය සිට දියතලාව දක්වා ගමන් ආරම්භ කළ පෞද්ගලික බස් රථයක් 20 අගහරුවාදා රාත්‍රී බණ්ඩාරවෙල දක්වා පැමිණ ඇති අතර  එහි සිටි මගීන් 19 දෙනා වෙනත් බස් රථයකට මාරු කර තිබේ.

බණ්ඩාරවෙලින් ගමන් ඇරැඹු බස්රථය හෙබරව දක්වා ධාවනය වන අතරතුර බණ්ඩාරවෙල කහගොල්ල ආරාමය අසලදී අද අලුයම 5.30 ට පමණ  රථය තුළ පිපිරීමක් සිදුව ඇත.

බස් රථය තුළ සිදුවු ගිනිගැනීම සහ පිපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 21 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ මගියකුගේ බෑගය තුළ තිබු ග්‍රෙනේඩයක්  පුපුරා යෑමෙන් එය සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් නීතිය හා සාමය භාර අමාත්‍යවරයාගෙන්, හමුදාපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන්ද විමසු බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී  නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුව දැනුවත් කර සිටියේ පිපිරීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක  පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.

ඉදිරි  විමර්ශන භාරව ඇත්තේ පොලිසියට බව බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටී.

Related posts

Comments are closed.

Top