සිරියාවේ ඝාතන වලට විරෝධය පා එක්සත් ජාතීන්ගෙන් හිස් කොළයක් 

 

සිරියානු දරුවන් ඇතුළු විශාල පිරිසකගේ දිවි තොර කරමින් නැගෙනහිර ගෞටා ප්‍රදේශයට රජයේ හමුදා විසින් එල්ල කළ ප්‍රහාර වලට සිය බලවත් විරෝධය පළකරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) “හිස් ප්‍රකාශයක්” නිකුත් කර තිබේ.

මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු UNICEF ප්‍රාදේශීය අධ්‍යක්ෂ ගර්ට් කැපලේර් විසින් 20 අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ නිවේදනය ආරම්භ කර ඇත්තේ “මරාදැමුනු ළමයින්, ඔවුන්ගේ මව්වරුන්, පියවරුන් සහ ආදරණීයයන් හට මොනම වචනයකින් වත් යුක්තිය ඉටු නොවෙනු ඇත,” යනුවෙන් සටහන් කරමිනි.

ඉන්මතු දැක්වෙන උදෘත පාඨ ලක්ෂණ යෙදු හිස් වාක්‍ය 10 න් ප්‍රකාශයක් නොමැති බව ඇඟවෙන අතර අවසානයේදී එහි අරමුණ පැහැදිලි කිරීමේ සටහනක් යොදා ඇත.

“එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හිස් ප්‍රකාශයක් නිකුත් කරනවා. මොකද ළමයින් ගේ විඳවීම් සහ ඒ පිළිබඳව අපගේ ඇති කෝපය පළ කිරීමට තවදුරටත් වචන ඉතුරු වී නැති නිසා,” යැයි එහි සඳහන් වී තිබේ.

“දැඩි දුක් වේදනාවන්ට හේතුවන  ම්ලේච්ඡ ක්‍රියා සාධාරණිකරණය සඳහා වචන තිබිය හැකිද?”

ලක්ෂ හතරක් කොටුවී

ජනපති බෂර් අල්-අසාද් ට පක්ෂපාති හමුදා කණ්ඩායම් විසින් කැරලිකරුවන් යටතේ පවතින නැගෙනහිර ගෞටා ප්‍රදේශය වසර ගණනාවක පටන් වටලා ඇති බැවින් ලක්ෂ හතරකට ආසන්න පිරිසක් එ තුල කොටු වී සිටිති.

කැරලි බල කඳවුර අත්පත් කරගැනීම සඳහා රුසියාවේ පිටුබලය ලත් රජයේ හමුදා විසින් පසුගිය දින කිහිපය තුල මෙහෙයවූ ගුවන් ප්‍රහාර වලින් මියගිය ළමුන් ප්‍රමාණය 50 කට අධික බව ක්‍රියාකාරීහු පවසති.

ප්‍රහාර නිසා 1200 දෙනෙක් පමණ තුවාල ලබා ඇත.

එසේම අවම වශයෙන් රෝහල් හයකට ද ප්‍රහාර එල්ල වී ඇතැයි එක්සත් ජාතීන් පවසයි.

කෙසේ වෙතත් රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටින්නේ නැගෙනහිර ගෞටා ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට තමන් උත්සාහයේ යෙදෙන බවයි.

තුවාල ලද පිරිස් ඉවත් කරගැනීමටත් මානුෂිය ආධාර සැපයීමට ඉඩලබා දීමටත් සටන් විරාමයක් කැඳවන ලෙස එක්සත් ජාතින් ඉල්ලීමක් කර තිබේ.

Related posts

Comments are closed.

Top