මානව හිමිකම් හෑල්ලු කරන බවට ලෝක බලවතුන්ට දොස්

 

පසුගාමී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින්, වෛරයෙන් පිරුණු පුරසාරම් දොඩමින් ලෝක බලවතුන්, කෝටි සංඛ්‍යාත ජනයාගේ මානව අයිතිවාසිකම් හෑල්ලුවට ලක් කරන බව මානව හිමිකම් සංවිධානයක් චෝදනා එල්ල කරයි.

පසුගිය වසර තුලදී ප්‍රතිගාමී නීති ක්‍රියාවට නැංවූ ලෝක නායකයන් අතරට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු නායක ව්ලැඩද්මිර් පුටින් මෙන්ම චීන ජනපති ෂි ජින්පින් ද ඇතුලත් වන බව ඇම්නස්ටි රාජ්‍ය නොවන සංවිධානය විසින් 22 බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද 2017 වාර්ෂික මානව හිමිකම් වාර්තාවේ සඳහන් වේ.

ඊජිප්තු, පිලිපීන සහ වෙනිසියුලා පාලන තන්ත්‍රය ද වාර්තාව මඟින් විවේචනයට ලක් කර තිබේ.

“වත්මන් ගෝලීය සම්බන්ධතා පිළිබඳ සැලකීමේදී වෛරයේ සහ භීතියේ අවතාර පුළුල් වශයෙන් පැතිරෙමින් තිබෙනවා. මෙවැනි බාධා සහිත කාලයක මානව අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටින්නේ රටවල් කිහිපයක් පමණයි,” යනුවෙන් ඇම්නස්ටි මහලේකම් සලීල් ශෙට්ටි පවසා ඇත.

“ඒ අතර එල්-සිසී, ඩුටර්ටේ, මඩුරෝ, පුටින්, ට්‍රම්ප් සහ ෂි වැනි නායකයන් මිලියන සංඛ්‍යාත ජනයාගේ අයිතිවාසිකම් අනුකම්පා විරහිතව උදුරා ගන්නවා.”

කෙසේ නමුත් බලවතුන්ගේ ක්‍රියා කලාපයන්ට ප්‍රතිචාර වශයෙන් ගෝලීය විරෝධතා ඇවිලෙමින් පවතින බව ද ලන්ඩනය කේන්ද්‍ර කරගත් සංවිධානය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම #MeToo සහ ලතින් ඇමරිකානු “නි උනා මෙනොස්” වැනි කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය හෙළා දකින නව සමාජ ව්‍යාපාර වල වර්ධනයක් පෙන්නුම් කරන බව ඔවුන් පවසයි.

 

භයානක පුර්වාදර්ශ

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6 ක සංක්‍රමණිකයන් ඇමරිකාවට ඇතුල්වීම වළකමින් ගෙන ආ මතබේදාත්මක සංචාරක තහනම මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් ජනපති ට්‍රම්ප්ගේ විසින් ගෙන ඇති පසුගාමී ක්‍රියාකලාපයන් ඔවුන් අනුගමනය කරන අනෙකුත් රාජ්‍යයන්ට භයානක පුර්වාදර්ශයක් සපයන බව ද ඇම්නස්ටිය අනතුරු අඟවයි.

“රට තුල මෙන්ම රටින් පිටත දී ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ජනපති ට්‍රම්ප් ක්‍රියා මාර්ග ගැනීමේදී, විශ්වීය මානව අයිතිය වෙනුවෙන් ගෙන යන සටන සෑම විටම පවතින බවත් සිය ප්‍රජාවන් එය දිනා ඇති බවත් රටපුරා වෙසෙන ක්‍රියාකාරීන් අපිට මතක් කර දෙනවා,” යනුවෙන් එක්සත් ජනපද ඇම්නස්ටි විධායක අධ්‍යක්ෂ මාගරට් හුංග් පැවසුවාය.

 

මාධ්‍යට මුඛවාඩම්

ලොව පුරා උද්ඝෝෂකයන් නිහඬ කිරීමට සහ ජනමාධ්‍යට මුඛවාඩම් දැමීමට බලධාරීන් ගත් උත්සාහයන් අතරතුරදී ක්‍රියාකාරීන් සියගණනක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාව මඟින් පෙන්වා දෙයි.

එසේම මාධ්‍යවේදීන් උදෙසා විශාලතම සිරකඳවුරු පිහිටා ඇත්තේ තුර්කියේ, ඊජිප්තුවේ සහ චීනයේ බව ද එහි සඳහන් කර ඇත.

රෝහින්ග්‍යා සුළුතරයට එරෙහිව මියන්මාර හමුදා ගෙනගිය වර්ග සංහාරය, ඉරාකයේ, දකුණු සුඩානයේ, සිරියාවේ සහ යේමනයේ මානව වර්ගයාට එරෙහිව දියත්වන අපරාධ සහ යුද අපරාධ පිළිබඳව ද ඇම්නස්ටි සංවිධානයේ විවේචනයට ලක් වී තිබේ.

“ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් හියුමන් රයිට්ස්” (ලොව මානව හිමිකම් තත්වය) ලෙස නම් කළ මෙම වාර්තාව රටවල් 159 ක් පාදක කරගනිමින් සම්පාදනය කර ඇත.

Related posts

Comments are closed.

Top