සමූපකාරය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ඇමැති රිෂාඩ්ගෙන් යෝජනා

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය ගෝලීය ඉලක්ක 17 කේන්ද්‍ර කරගෙනයි දිවයිනේ සමූපකාර ව්‍යාපාරය සංවර්ධනය කිරීමෙන් විවෘත වෙළෙඳපොළ ආර්ථිකය තුළ සමූපකාර ව්‍යාපාරයට බලපාන අභියෝග ජය ගත හැකි වෙන්නේ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසා තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙබරවාරි 27 කොළඹ ගලධාරි හෝටලයේ පැවති ආසියානු ශාන්තිකර කලාපයේ සමූපකාර සංවර්ධන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් බව අමාත්‍යාංශය කියා සිටී.

ආසියානු ශාන්තිකර කලාපයේ සමූපකාර සංවර්ධන සමුළුවේ මෙවර තේමාව වන්නේ තිරසාර සංවර්ධනයට විවිධ සහයෝගී පාර්ශවයන්ගේ හවුල් ව්‍යාපාර ගොඩනගමු යන්නයි. මෙම සමුළුව යුරෝපීය සංගමයේ සහ ආසියානු ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ සහයෝගයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමඟ ශ්‍රි ලංකා ජාතික සමූපකාර මණ්ඩලය, සණස ව්‍යාපාරය, ජාතික සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි. මෙම සමුලුවට ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 32 ක් නියෝජනය කරමින් එහි රාජ්‍ය නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වී සිටි බව කර්මාන්ත හා වාණිජ කටයුතු මාධ්‍ය ඒකකය පවසයි.

මෙම අවස්ථාවට කිර්ගීස් ජනරජයේ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩෙනෙයර් ඉනනාලියර්, ආසියානු ශාන්තිකර කලාපීය ජාත්‍යන්තර සමූපකාර සංධානයේ උප සභාපති ආචාර්ය සී.පී.සිං යාදේව්, ආසියානු ශාන්තිකර කලාපීය ජාත්‍යන්තර සමූපකාර සංධානයේ කලාපීය අධ්‍යක්ෂ බාලු අයියර්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ. පීරිස්, සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්  එස්.යූ.නසීර් සහභාගී වී තිබේ.

මීට වසර 112 කට පෙර වර්ෂ 1906  දී ආරම්භ වූ  ශ්‍රී ලංකාවේ සමූපකාර සමිති 14,500 ක් රට පුරාම පැතිර පවතින බව පවසන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමූපකාර ව්‍යාපාරයේ සාමාජිකත්වය මේ වන විට පනස් ලක්ෂය ඉක්මවා ඇතැයි කියා සිටී.

 

 

Related posts

Comments are closed.

Top