අම්පාරේ ජාතිවාදී ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වරු ප්‍රදේශය හැර යති | VIDEO

මුස්ලිම් දේවස්ථානයක් ඇතුළු කඩ සාප්පු කිහිපයකට පහර දී විනාශ කළ කලහකාරීන් හඳුනාගෙන තිබියදීත් පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනීමට පියවර නොගෙන සිටීම නිසා බියපත්ව සිටින මුස්ලිම් ජනතාව ප්‍රදේශය හැර යමින් සිටින බව අම්පාරේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ පවසති.

අගමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගත් දිනට පසුදා රාත්‍රියේ ඩී එස් සේනානායක වීදියේ නිව් කාසිම් හෝටලයට පහර දීමෙන් ප්‍රචණ්ඩතාව ආරම්භ කළ  සිංහල කල්ලියක් අම්පාර ජුම්මා මස්ජිඩ් දේවස්ථානයටත් තවත් වෙළෙඳ සල් හතරකට හා වාහන කිහිපයකටත් අලාභ හානි කර තිබේ.

සඳුදා රාත්‍රී 10 ට පමණ හෝටලයට පහර දුන් පුද්ගලයන් අඟහරුවාදා රෑ වන විටත් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නොතිබුනු අතර දේවස්ථානයට පහරදී ඇත්තේ 27 අඟහරුවාදා  පාන්දර 2 ට පමණ බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් ගගන හා කියා සිටියේය.

ප්‍රහාරය අවස්ථාවේදී එයට යාබදව පොලිස් නිළධාරීන් පිරිසක්ද ඉඳ ඇති නමුත් ඔවුන් මෙම ගැටුම වැලැක්වීමට කිසිදු පියවරක් ගෙන නැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කැබිනට් හමුවේදී ප්‍රකාශ කර තිබේ.

වසර තිහක කාලයක් පුරා යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකිකයින් නැවතත් ජාතිවාදී ගැටුම් කරා ඇද යන ජාතිවාදීන් මෙම ක්‍රියාව පිටුපස ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍යවරයා කියා සිටියේ යැයි ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි.

බෞද්ධ භික්ෂුන්

නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල්  කාසිම් ප්‍රකාශ කරන පරිදි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අඟහරුවාදා කැඳවන ලද ප්‍රාදේශීය ආගමික හා සිවිල් සමාජ නායක රැස්වීමකදී මුස්ලිම් දේවස්ථානයට පහර දීම බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින්ද හෙලා දැක තිබේ.

ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බව පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටී.

එසේ වෙතත් ප්‍රහාරයට වගකිව යුතු ප්‍රචණ්ඩ පිරිස් නිදැල්ලේ හැසිරෙන නිසා මුස්ලිම් ජනතාව බියෙන් සිටින බව ෆයිසාල් කාසිම් මෙන්ම නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය එච් එම් එම් හාරිස්ද පවසයි.

අන්තවාදීන්ට බියෙන් ගම්බිම් හැරයාමට සිදුවී ඇති මුස්ලිම් ජනතාවට ආරක්ෂාව දීමට නොහැකි වීම සම්බන්ධයෙන්  අගමැති රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.

“මේකට නීතිය හා සාමය භාර ඇමැති හැටියට අගමැති තුමා වගකියන්න ඕනේ. උත්තර දෙන්න ඕනේ,” යි එච් එම් එම් හාරිස් අම්පාරේ සිට දුරකතනයෙන් ගගන හා පැවසීය.

අම්පාර මුස්ලිම් දේවස්ථානයට සිදු කර ඇති අලාභාහානිය දැකබලාගන්නට නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහල පොලිස් නිලධාරීන් සමග අඟහරුවාදා දහවල් ගොස් මාධ්‍යවේදීන්ට අදහස් දක්වන අවස්ථාවේ ඔහු වටකරගත් සිංහල කලහකාරීන් පිරිසක් අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කරනු වීඩියෝ ගත වී තිබේ.

මූණු පොතේ පුරසාරම්

නිව් කාසිම් හෝටලයට පහර දුන් කණ්ඩායමට නායකත්වය ලබා දුන් පිරිස අම්පාර නගරය හා ඒ අවට අය බව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාම පවසති.

අන්තවාදී ප්‍රචණ්ඩ කල්ලියේ සාමාජිකයන් ප්‍රහාරය යුක්තිසහගත කරන  ප්‍රකාශ ඔවුන්ගේ මුහුණු පොත් වල පල කර ඇතැයි ඉහල පොලිස් නීලධාරීන් අම්පාරේ පැවති ඉහළ පෙලේ සාකච්ඡාවේදී  ප්‍රකාශ කර ඇතත්, ඒ කිසිවකුත් අත් අඩංගුවට ගෙන නැත.

අම්පාර ප්‍රහාරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හඳුන්වන ලද්දේ ආණ්ඩුවට වැදුනු කළු පැල්ලමක් ලෙසයි.

“ආණ්ඩුවට නීතිය ආරක්ෂා කරන්න බැරිනම් අපිට බෑ ආණ්ඩුව ආරක්ෂා කරන්න,” මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ගගන හා කියා සිටියේය.

තම රාජකාරිය නොවලහා ඉටු කරන බවට පොලිස් බලධාරීන් සහතික වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Comments are closed.

Top