රට පැටවූ දරුවන් වෙනුවෙන් “බ්‍රිතාන්‍යය වන්දි ගෙවිය යුතුයි”

 

ළමා වියේදී බලහත්කාරයෙන් පිටරට පැටවීමෙන් පසු විවිධ අපචාර වල ගොදුරු බවට පත්වූ දහස් සංඛ්‍යාත බ්‍රිතාන්‍යය ජාතිකයන් හට රජය විසින් වන්දි ලබාදිය යුතු බව විමර්ශනයක් අවධාරණය කරයි.

අග හිඟකම් ඇති දරුවන් ප්‍රමුඛ ළමුන් හාර දහසක් පමණ පුණ්‍යායතන සහ කතෝලික පල්ලි එකමුතුවෙන් 1945-1970 අතර කාල වකවානුව තුලදී ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ වර්තමානයේදී සිම්බාබ්වේ නමින් හඳුන්වන දකුණු රොඩේෂියාව යන බ්‍රිතාන්‍ය කිරීටයේ රටවල් වලට යැවීමේ ප්‍රකාශිත අරමුණ වුනේ ඔවුන්ට වඩාත් හොඳ ජීවන තත්වයක්  ලබා දීම හා  පිටරටවල බ්‍රිතාන්‍ය ජනගහණය වැඩි කිරීමයි.

දැනට ජිවතුන් අතර සිටින දෙදහසක් පමණ උක්ත සංක්‍රමණිකයන් සියල්ලන්ටම වසරක් ඇතුලත බ්‍රිතාන්‍ය රජය විසින් වන්දි ගෙවිය යුතු යැයි ළමා ලිංගික අපයෝජන පිළිබඳ වූ ස්වාධින විමර්ශනය (IICSA) ප්‍රකාශ කරයි.

එවක ක්‍රියාත්මක වූ ළමා සංක්‍රමණික වැඩසටහන සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා සහ එක්සත් රාජධානි ආණ්ඩු  2009, 2010 වසර වලදී සමාව ඉල්ලා තිබුණි.

බ්‍රිතාන්‍ය රජය වගකිව යුතුයි

ළමා වියේදී තමන් ඇතුළු අනෙකුත් පිරිසට පාසල් සහ අනාථාගාර පාලනය ගෙන ගිය උදවියගෙන් අත්විඳීමට සිදු වූ ලිංගික සහ කායික හිංසනයන් පිළිබඳව, හිටපු සංක්‍රමණිකයන් බොහොමයක් දෙනා IICSA හමුවේ කරුණු දක්වා ඇත.

හිටපු ළමා සංක්‍රමණිකයන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති නෝමන් ජොන්ස්ටන් ප්‍රකාශ කර සිටින්නේ පරීක්ෂණය බ්‍රිතාන්‍ය රජය දෙසට “ඇඟිල්ල දිගු කර තිබෙන” බවයි.

තම පිරිසට දැන් අවශ්‍ය කරන්නේ අග්‍රාමාත්‍ය තෙරේසා මේ මුණගැසීමට බව සත් හැවිරිදි වියේදී ඇබර්ඩින් වලින් පිටමං කෙරුණු නෝමන් ජොන්සන් පැවසුවේය.

“යුක්තිය ඉටු වී දැයි දැනගෙන මිය යෑමට අපිට අවශ්‍යයි.”

ඇති නැති දෙගොල්ලන්ටම වන්දි

ලිංගික අපයෝජනයන්ට ලක්වී ඇතත් නැතත් ළමා සංක්‍රමණිකයන් සියල්ලන්ටම වන්දි ලබා දිය යුතු බව වාර්තාව නිර්දේශ කරයි.

ඒ ඔවුන් සියලු දෙනාම ලිංගික අතවරයට ලක්වීමේ අවදානමක සිටි බැවිනි.

බර්නාඩෝස් සහ වර්තමානයේ කුමර අරමුදලේ කොටසක් බවට පත්ව ඇති ෆෙයාබ්‍රිජ් සමාජය ඇතුළු පුණ්‍යායතන මෙන්ම කතෝලික පල්ලි විසින් පාලනය ගෙන ගිය වැඩ පිළිවෙලේ “ප්‍රධාන වගකීම” රජය විසින් දැරිය යුතු යැයි IICSA අවධාරණය කරයි.

එසේම දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමටත්, අපචාර සිදු වූ බවට පළවුණු වාර්තාවන්ට ප්‍රතිචාර දැක්වීමටත් රජය අපොහොසත් වූ අතර ඕස්ට්‍රේලියාව සමඟ ඇති සම්බන්ධය පළුදු කරගැනීමටත්, බර්නාඩෝස් සහ ෆෙයාබ්‍රිජ් පුණ්‍යායතන අසතුටට පත් කිරීමටත් රජය අකමැති වූ බව වාර්තාව මඟින් පෙන්වා දෙයි.

මෙම විමර්ශනය එංගලන්තය සහ වේල්සය මුලික කරගනිමින් සිදු කර ඇතත් ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ද වෙන වෙනම පරීක්ෂණ පවත්වා තිබේ.

Related posts

Comments are closed.

Top