හිදැස: පිල්ලෙයාන් ගේ නැගීම, උතුරු නැගෙනහිර ඒකාබද්ධය, ආණ්ඩු නැති උතුරේ ආයතන සහ ගජේන්ද්‍රකුමාර්

සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් (නොහොත් පිල්ලෙයාන්) ගේ නායකත්වයෙන් යුතු තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් පක්ෂය (TMVP) මෑතකදී පවත්වන්නට යෙදුනු පළාත් පාලන මැතිවරණයෙන් නැගෙනහිර පලාතේ සිත් මවිත කරවන තරමේ ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් විණි. පළාතේ විශාලතම දමිළ ජනගහණය සහිත දිස්ත්‍රික්කය වන මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් පක්ෂය සමස්ත ආසන 53 ක් දිනා ගනිමින් පළාතේ දෙමළ ජාතික සන්ධාන දේශපාලන ආධිපත්‍යයට ප්‍රබල අභියෝගකරුවකු ලෙසින් ඉදිරියට පැමිණ තිබුනි. මඩකළපුවේ පළාත් පාලන ආයතන 12 කින් 7 ක් දිනාගැනීමට සහ සමස්ත ආසන 82 ක් වාර්තා කිරීමට දෙමළ ජාතික සන්ධානය සමර්ථ වී තිබුණත්, එම එකදු පළාත් පාලන ආයතනයක හෝ පූර්ණ බහුතරය සුරක්ෂිත කර ගැනීමට එය අසමර්ථ වී තිබිණි.

2015 ජනවාරි මාසයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පරාජයෙන් පසුව සිදුවූ තනතුරු ප්‍රතිසැකසුම් කිරීමේදී නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ධූරය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පවරා දීම, නැගෙනහිර පළාතේ දමිළයන් අතර දෙමළ ජාතික සන්ධානයේ ජනප්‍රියත්වය ක්ෂය වී යෑමට හේතු වූ ප්‍රධානතම සාධකයක් බවට දමිළ පුවත්පත් අතර එකඟතාවයක් දක්නට ලැබිණි.

නැගෙනහිර පළාත් සභාවේ විශාලතම තනි පක්ෂය වුවත් දෙමළ ජාතික සන්ධානය මගින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මහ ඇමති ධූරය පවරා දෙනු ලැබුවේ, උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා මුස්ලිම් සහයෝගය දිනා ගැනීම ඉලක්ක කොටගත් හොඳ හිත පෙන්වීමේ ක්‍රියාවක් ලෙසටයි. කෙසේ වුවත් දෙමළ ජාතික පක්ෂයේ ක්‍රියාවට එරෙහි විරෝධයේ ප්‍රධාන ප්‍රයෝජන ලබන්නා වන තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් පක්ෂය තම දේශපාලනය කේන්ද්‍රගත කොට ඇත්තේ උතුර සහ නැගෙනහිර අතර ප්‍රාදේශීය විසමතාවයන් මත මෙන්ම, නැගෙනහිර පළාතේ ජීවත් වන දමිළයන්ට අදාළ වන කරුණු උතුරු පළාතේ ජීවත් වන දමිළයන්ට අදාළ වන කරුණු වලින් සහමුළින්ම වෙනස් වන්නේය යන පදනම මත උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීමට විරුද්ධ වීමද මත වේ. මෙම ප්‍රතිඵලය මගින් උතුර සහ නැගෙනහිර නැවත ඒකාබද්ධ කිරීමේ දේශපාලන ව්‍යාපෘතියට නැගෙනහිර දමිළ ප්‍රජාවගේ සහයෝගය පිරිහී යන බව පෙන්වා දෙනවා වීමටද හැක. දමිළ ජාතික අරගලයේදී නැගෙනහිර පළාත යනු තනිව නැඟී සිටිනා සමාන හවුල්කරුවකුය ලෙසින් වන දෘෂ්ටිකෝණයකින් දෙමළ ජාතිකවාදය කුලවැද්දුම් කොට ගත් නව සිවිල් සමාජ කණ්ඩායමක් ‘නැගෙනහිර දෙමළ සාමූහිකය’ යන නමින් නැගෙනහිර පළාතේ නිර්මාණය වී ඇති බව වීරකේසරී ලිපියක් මගින් ඉස්මතු කොට දක්වා තිබිණි.

කාටුන් අනුග්‍රහය: වීරකේසරී

දමිළ පක්ෂ අතර එදිරිවාදිකම් ගැන දමිළ පුවත්පත් තැවේ

උතුරු සහ නැගෙනහිර පළාත් තුළ එක් පක්ෂයකට හෝ බහුතරය ලැබී නොමැති පළාත් පාලන ආයතන වල  පාලනය සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවය ක්‍රමයෙන් වැඩි වෙමින් පවත්නා අතරේ, දමිළ ජාතිකවාදී දේශපාලන පක්ෂ අතර එකමුතුවක් නොමැති වීම සම්බන්ධයෙන් දමිළ පුවත්පත් කණගා‍ටුවෙන් පසුවන බව දක්නට ලැබිනි.

වීරකේසරී ලිපියක් මගින් මෙම චෝදනාවෙන් කොටසක් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණට බැර කොට තිබුණේ, පළාත් පාලන ආයතනයන්ගෙන් අති බහුතරයක් තවමත් කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවී තිබීමේ වත්මන් තත්වය සම්බන්ධයෙන් සලකමිනි. ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ මගින් ආසන බහුතරයක් දිනාගත් පේදුරු තුඩුව සහ චාවකච්චේරි නගර සභා තුළ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායකත්වයෙන් යුතු සභාග පාලන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සිය සහාය ලබාදෙන බවට සන් කර තිබියදීත්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් යාපනය මහ නගර සභාව සඳහා නගරාධිපති තනතුරට දෙමළ ජාතික සන්ධානය මගින් නම් කළ තැනැත්තාට අභියෝග කරන්නට යෙදිනි. මෑත සති කිහිපය තුළ සිදුවූ ජාතික දේශපාලනික සිදුවීම්වල ප්‍රතිබිම්බයක් ලෙසින් වූ පියවරක් අනුගමනය කරමින් ඔහු ප්‍රසිද්ධියේ නිවේදනය කර සිටියේ, දෙමළ ජාතික සන්ධාන සාමාජිකයන් කිහිප දෙනකුම ඉක්මනින්ම තම පක්ෂයට පැමිණෙනු ඇති බවත්, එබැවින් එක් පක්ෂයකටවත් බහුතරය අහිමි යාපනයේ පළාත් පාලන ආයතන පහ තුළම ස්වාධීන ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණු පාලනයක් ඇති කිරීමට  හැකියාව ලැබෙනු ඇති බවටත් ය. ඔහුගේ උපාය මගින් යාපනයේ බහුතරය නොමැති වූ පළාත් පාලන ආයතන තුළ දෙමළ ජාතික සන්ධාන-ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණු සමගි පාලනයන් ඇතිවීම සාධනීය ලෙසින් වළක්වා තිබිණි.

දෙමළ පළාත්වල ජාතික පක්ෂ

දමිළ පුවත් මත දැක්වීම් තුළ දක්නට ලැබුණු තවත් ප්‍රධාන තේමාවක් වූයේ, දමිළ ප්‍රදේශ තුළ ක්‍රමයෙන් වැඩි වන ජාතික දේශපාලන පක්ෂ බලපෑමයි. උදයන් කතුවැකිය මගින් නිරීක්ෂණය කරන්නට යෙදුණේ, මෙසේ ජාතික දේශපාලන පක්ෂ වල බලපෑම දමිළ ප්‍රදේශ තුළ ක්‍රමයෙන් වැඩිවීමට හේතුව වන්නේ, දමිළ ජාතිකවාදී දේශපාලන පක්ෂයන් තුළ නොනැවතී සිදුවන අභ්‍යන්තර ගැ‍ටුම් වන බවයි. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ දමිළ දේශපාලන පක්ෂයන් පොදු ප්‍රතිපත්තිමය පර්යන්තයක වැඩ කිරීමට අකමැත්තක් දැක්වීම සමගින්, “දමිළ ජාතියේ ශාපය” නමින් වූ වීරකේසරී තීරු ලිපියක් මගින් බිය පළකොට තිබුණේ මෙම දමිළ පක්ෂ අතර වන දැඩි එදිරිවාදීකම නිසාවෙන් දමිළ දේශපාලන අරගලය නැවත පිළිසකර කළ නොහැකි තත්වයකට අනතුරේ වැටෙනු ඇති බවටයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top