ඇඳිරි නීතිය මැදත් මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රහාර | VIDEO

මුස්ලිම් දේවස්ථාන කඩා බිඳ දමමින්, ව්‍යාපාරික ස්ථාන ගිනි තබමින් මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය ජාතිවාදී ප්‍රහාර, ඇඳිරි නීතිය පවතිද්දී පස්වැනි දිනයේත් දියත් වීම ආණ්ඩු පක්ෂයේම අමාත්‍යවරුන්ගේම කෝපාවිෂ්ට විරෝධයට ලක්විය.

හමුදා සහ පොලිස් කණ්ඩායම් පළාත පුරා යොදවා තිබියදීත් සිංහල අන්තවාදී පිරිස් කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, අකුරණ, කහල්ල සහ වත්තේගම ඇතුළු ප්‍රදේශ වල විනාශකාරී කටයුතු වල යෙදී සිටියහ.

පොලිසිය පවසන පරිදි අඟහරුවාදා රාත්‍රියේ මැණික්හින්නට ගිය කලහකාරීන් අතරින් හත් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

මුස්ලිම් ප්‍රජා නායකයන් හා දේශපාලකයන් දිගින් දිගටම කළ චෝදනාව සහතික කරමින් විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කරන්නේ හමුදා නිලධාරීන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතුළු පිටස්තර පුද්ගලයන් ප්‍රචණ්ඩතා ඇවිලවූ බවයි.

මුස්ලිම් විරෝධී ප්‍රහාර සංවිධානාත්මකව සිදුවන බව අගමැති මෙන්ම ජනපතිද තහවුරු කර තිබුනි.

අඹතැන්නේ අත් බෝම්බයක්

අඹතැන්නට ගිය ප්‍රචණ්ඩ පිරිස් අතර සිටි අයකු සතුව තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙන බව පවසන අගමැතිවරයා පූජ්‍ය පක්ෂයේ කිසිවකුත් අනතුරට පත්වී නැතැයි කියා සිටී.

මීට ඉහතදී මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත්වන කීප අවස්ථාවක  දකින්නට සිටි සිංහල ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර හිමිද අඹතැන්නේ ප්‍රියදර්ශනාරාමයට ගොස් හිඳිනු වීඩියෝ ගතව තිබුනි.

කැරලිකරුවන් මෙහෙයවන නායකත්වය හඳුනා ගැනීමට නොහැකි තරමට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ බෙලහීනදැයි මුස්ලිම් කොන්ග්‍රස් නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ දැඩි කෝපයෙනි.

“අපි දන්නවා කවුද මේ කියලා, ඇතිවෙන්න සාක්කි තියෙනවා,” යි කී රවුෆ් හකීම් අමාත්‍යවරයා මුස්ලිම් වරුන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වගකිව යුතු බව දැඩි ලෙස අවධාරණය කළේය.

අඟහරුවාදා රාත්‍රියේ වත්තේගම වෙළෙඳ සලක් ගිනිතබා තිබෙනු දැක්වෙන වීඩියෝවක් අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පල කර තිබුනි.

“රෙදි නැතිව ඉඳීම”

තමන් කතා කරමින් සිටින අවස්ථාවේත් මහනුවර ඇතැම් ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව පහර කෑමට ලක්වන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච් එම් එම් හාරිස් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ රජය කෙරේ වූ දැඩි කලකිරීමෙනි.

“මේ ආණ්ඩුවේ ඉන්නවාට වැඩිය හොඳයි රෙදි නැතිව ඉන්න එක,” යි ඔහු කියා සිටියේය.

කැරලිකරුවන්ට විරුද්ධව පියවර නොගන්නා ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලය “කොන්ද පණ නැති” පුද්ගලයන් බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා කොල්ලකෑම් වල නිරත වන පුද්ගලයන්ට හා කණ්ඩායම් වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය විසින් සෑම පියවරක්ම ගනු ලබන බවට සහතික වන අගමැති රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය යටතේ මහනුවර ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රුක්මන් ඩයස් වෙත පවරා ඇති බව මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකින් පවසයි.

ජනපති මහනුවර

මහනුවරට ගොස් ප්‍රදේශයේ සර්වාගමික නායකයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවූ ජනාධිපතිවරයා පවතින සැබෑ තත්ත්වය පිළිබඳව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

“ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිතුමා අදාළ ප‍්‍රදේශ තුළ සාමය ස්ථාපිත කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ද දැනුම් දුන්නේය,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

කෙසේවෙතත්, 8 බ්‍රහස්පතින්දා සවස 4 වනතුරු මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.

Related posts

Comments are closed.

Top