මහනුවර ප්‍රහාර වලට භික්ෂුන් ද හවුල් බව මල්වතු මහනාහිමියෝ පිළිගනිති | VIDEO

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ප්‍රහාර සඳහා ඇතැම් බෞද්ධ භික්ෂුන් ද දායක වූ බව තහවුරු කරන මල්වතු මහනාහිමියෝ ඔවුන්ට එරෙහිව නීතිය මගින් ක්‍රියා කිරීම සඳහා අනුමැතිය පල කරති.

භික්ෂුන් වහන්සේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වී සිටීම ගැන තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහනාහිමියන් හමුවේ යුද හමුදාපතිවරයා විමතිය පල කළ අවස්ථාවේ උන්වහන්සේද එය පිළිගනු දැකගත හැකි විය.

මහනාහිමියන් බැහැදකින්නට යුද හමුදාපති මහේෂ් සේනානායක ගොස් සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී සිදුවීම් වලට ගොදුරු වූ ප්‍රදේශ නිරීක්ෂණයේ කිරීමේ සංචාරයක යෙදෙමින් සිටියදීය.

“සමහර ස්වාමීන් වහන්සේලාත් මේ පිළිබඳව..” යනුවෙන් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මුල පුරද්දී, “ඉන්නවා, ඉන්නවා, නෑ කියන්නේ නෑ. නීතිය තමයි කරන්න තියෙන්නේ,” යි  මල්වතු නාහිමියන් ප්‍රතිචාර දක්වනු මාධ්‍යවේදීන්ට දැකගත හැකි විය.

මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන ද  කලහකාරීන් සමග මහනුවර  සිටීම මහනාහිමියන් හා යුද හමුදාපතිවරයා අතර කතාබහට ලක්විය.

හදිසි නීතියේ පීඩාව

හදිසි නීතිය පනවා තිබීම ජනතාවට පීඩාකාරී බව මහනාහිමියන් හමුවේ පිළිගත් හමුදාපති මහේෂ් සේනානායක ඉක්මනින්ම සාමාන්‍ය තත්වය උදාවනු ඇති බවට විශ්වාසය පල කළේය.

“ජන ජීවිතයට අපහසුවක් ඇතිවෙනවා අපි ඉන්නකොට,” යි හමුදාපතිවරයා කියා සිටියේය.

මහනුවර ප්‍රචණ්ඩතා නිසා උන්හිටිතැන් අහිමිවී සිටින පිරිසක් මුණගැසීමටද යුද හමුදාපති වෙහෙරතැන්න පාසලටද ගොස් තිබේ.

විනාශවූ දේපල මැයි මාසයට පෙර නැවත ගොඩනැගීමටද ඔහු සහතික විය.

මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත්වූ ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අකුරණ, අඹතැන්න, පුජාපිටිය, දිගන, කුණ්ඩසාලේ සහ තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශවල ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

එහිදී, මල්වතු පාර්ශවයේ මහනාහිමියන්ට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, මධ්‍යම පළාත් අණ්ඩුකාරතුමිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යතුමා, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති, 11 වැනි සේනාංකයේ සේනාංකාධිපති, නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් පරිපාලන නිලධාරින් හා කන්ද උඩරට මවුලවිතුමන් ද හමු වී තිබේ.

 

Related posts

Comments are closed.

Top