ගම රකින්න එක්වන ලෙස ආගමික නායකයන්ට වල්පොල රාහුල පදනමින් ඉල්ලීමක් | VIDEO

ජනතාව බිය වද්දමින් දියත් වී ඇති  ප්‍රචණ්ඩතාවෙන් රට බේරා ගැනීම සඳහා එක්වන ලෙස විද්වත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ආගමික නායකයන්ගෙන් සහ ආරක්ෂක අංශ වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිති.

මහනුවර ඇවිල ගිය කැරලිකාරිත්වයෙන් මුස්ලිම් සහ සිංහල දෙපිරිසම බිය වැදී සිටින බව පවසමින් තෙබසින්ම වීඩියෝ ආයාචනයක් බෙදා හැර ඇති වල්පොල ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රහාර වලින් ගම් බිම් බේරා ගැනීමට එක්වන ලෙස ආගමික නායකත්වය ඇතුළු ප්‍රජා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිති.

“පන්සල්වල අපේ හාමුදුරුවරු, මව්ලවි තුමන්ලා, විදුහල්පතිවරු, ගමේ නායකයින්, මේ සියලුදෙනා එකතු වෙන්න,” යි කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය ධුරයද හොබවන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ආයාචනය කර තිබේ.

“ඒවගේම ආරක්ෂක අංශ සමග එකතුවෙන්න. එකතුවෙමින් තමන්ගේ ගම, තමන් ජීවත්වන ප්‍රදේශය, ඒ ප්‍රදේශයේ දේපල, මිනිස්සුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙන්න.”

විනාශකාරී කටයුතු සඳහා සංවිධානය වීම වීරකමක් නොවන භයානක කටයුත්තක් බව තරුණයන් හට පවසා සිටින ධම්මානන්ද හිමියන් පෙන්වා දෙන්නේ පෙන්වා දෙන්නේ ලේ වැගිරීමකින් තොරව නිදහස් ශ්‍රී ලංකාව ගත කර ඇත්තේ අවුරුදු හතක කාලයක් පමණක් බවයි.

ආරක්ෂක අංශ වගකීම

රටේ සියලු ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ සතු වගකීමක් ඇතැයි සිහිපත් කර දෙන උන්වහන්සේ අවධාරණය කරන්නේ එහි සාමාජිකයන් කවර ජාතියකට අයත් වුවත් රාජකාරිය ඒ අනුව තීරණය කළ නොහැකි බවයි.

“අසරණ භාවයට පත් ජන කොටස් ආරක්ෂා කිරීම, ඔවුන්ට හිංසා කරන්න එන පිරිස් වලින් ඔවුන් බේරා ගැනීම ඔබේ කාරියයි. ඒ හිංසා කිරීමට එන අයගේ ආගම, ජාතිය මත ඔබේ රාජකාරිය වෙනස් වන්නේ නෑ.”

අතීතයේ දී සිදුවූ ලේ වැගිරීම් පිළිබඳ අත්දැකීම් ඇති වැඩිහිටියන්ට එහි ආදිනව පෙන්වා දෙන ලෙස  ඉල්ලා සිටින ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ “අතීතයේ වගේ වරද්ද ගන්න එපා,” යි අනතුරු අඟවති.

Related posts

Comments are closed.

Top