ජාතිවාදීන් මර්දනය නොකිරීම ගැන යහපාලනවාදීන් පිරිසක් විරෝධයේ | VIDEO

ජාතිවාදී බලවේග රට තුළ ප්‍රචණ්ඩ ලෙස හිස ඔසවමින් සිටීමට ඉඩදීම ගැන කෝපය පලකරන  ආණ්ඩුව පිහිටුවීමට වෙහෙසවූ නායකයන් පිරිසක් මහනුවර වෙලාගත් මුස්ලිම් විරෝධී කැරලිකාරිත්වය මැඩ පැවැත්වීමට පියවර නොගැනීම ගැන විරෝධය පල කර සිටිති.

මහනුවර දිස්ත්‍රික්කයේ පස් දිනක් තිස්සේ දිග්ගැසුනු මුස්ලිම් විරෝධී ප්‍රහාර වලට විරුද්ධව කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයකදී යහපාලන රජය පිහිටුවීමට උරදුන් වෘත්තිය සමිති නායකයෙක් ඉල්ලා සිටියේ ඇති වී තිබෙන තත්වය වහාම කළමනාකරණය කිරීමට කටයුතු කරන ලෙසයි.

2015 ජනවාරි 8 දින නව  ජනාධිපතිවරයෙක් සහ අගෝස්තු 17 දින නව අගමැතිවරයෙක් පත් කරනු ලැබුයේ සමකාමී රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්තප්‍රිය පවසන්නේ.

“අපිට ඕනෑ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජනයා එකට ජීවත් වන සාමකාමී රටක්. අපි හැමදාම ඉල්ලුවේ ඒක. නමුත්, පාලකයන්ට මේක තේරෙන්නේ නෑ. ජනතාවගෙන් සමහර කොටසකට මේක තේරෙන්නෙත් නෑ,” යි  ඔහු කියා සිටියේය.

“දෙමළ මිනිසුන් සමග ඇතිකරගත් ආරාවුලක්” හේතුවෙන් වසර 30 ක් දුක් විඳිමින් ආර්ථිකය කඩා ගනිමින් ශ්‍රී ලංකාව “ජාත්‍යන්තරය තුළ අප්‍රසන්න තත්වයකට පත්වූ” බව මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

“ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවට කොන්ද නම් හයිය මදි.   අඩුම ගානේ ආණ්ඩුවට තවම බැරුව ගියා බේරුවල සිද්ධිය ගැන නඩුව ඉදිරියට ගෙනියන්න. . නමුත් අපි හිතනවා මීට වඩා හයියෙන් ජාතිවාදීන්ට කිසිසේත් ඉඩනොදී ගමන් කළ යුතුයි කියලා,”  යි ඔහු සඳහන් කළේය.

ජගත් සම්භාවනාවට පාත්‍රවූ ලාංකේය කලාකරුවකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර එහිදී  ජනතාවගෙන් ඉල්ලා සිටියේ තිස් අවුරුදු යුද්ධයකට පැටලී  සිටි රට යලි යුද්ධයකට ගෙන නොයන ලෙසයි.

රටේ මේ වන විට  උද්ගත වී තිබෙන තත්වය රටේ සාමාන්‍ය වැසියන්ගේ ප්‍රශ්නයක් නොවන අතර බලය කොල්ල කෑමට බලා සිටින පිරිස් වල උවමනාවක් බැවින් එයට නොරැවටෙන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමාජයේ සමගිය විනාශ කරා ගෙන යන ජාතිවාදී බලවේග මැඩලීමට ඡන්දය ලබාගත්  ජනාධිපති හා අගමැති දෙදෙනාම අද තම වගකීම මගහැර සිටින බවට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සුන්දරම් මහේන්ද්‍රන් චෝදනා කළේය.

Related posts

Comments are closed.

Top