එක්සත් ජාතීන්ගේ ඉහලම ලොක්කෙක් මහනුවරටත් යයි | VIDEO

මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා දැඩි ලෙස හෙලා දැක ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ඉහළම නියෝජිතයෙක් සිය ශ්‍රී ලංකා නිල සංචාරයේදී මහනුවරටත් යාමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණ ජනපති, අගමැති හා විපක්ෂ නායක ඇතුළු දේශපාලන ප්‍රධානීන් 9 සිකුරාදා කොළඹ දී මුණගැසුනු එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහනුවරට යාමටද නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

නියෝජ්‍ය මහලේකම් මහනුවරදී ආගමික නායකයන්ද මුණ ගැසීමට නියමිත බව නිව්යෝර්ක් නුවරදී ප්‍රකාශ කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් රටේ වාර්ගික ප්‍රචණ්ඩතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් බරපතල අවධානයක් යොමු කර ඇති බව මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“වැරදිකරුවන්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසත්, ආපදාවට ලක්වී තිබෙන ප්‍රදේශවල සාමාන්‍ය තත්වය නැවත ඇති කිරීම සඳහා නිසි පියවර කඩිනමින් ගන්නා ලෙසත්,” මහනුවර කැරලිකාරිත්වය හෙලා දකින ප්‍රකාශයක් මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා තිබුනි.

නියෝජ්‍ය මහලේකම් වරයා විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතු එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන අස්ථාවර භාවය ගැන තමන් එජා නියෝජිතයා දැනුවත් කළ බවයි.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 2015 දී පොරොන්දු වූ වගකීම් ඉටු කිරීමේ ප්‍රගතියක් නැති වීම ගැන බලවත් අවධානයක් යොමුවී ඇතැයි නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ප්‍රකාශ කළ බව සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න හමුවූ  එක්සත් ජාතීන්ගේ  නියෝජ්‍ය මහලේකම් වරයා සංහිඳියා ක්‍රියාදාමය සහ හමුදාව වාඩිලා ගත්  ඉඩම් මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ බවයි.

නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් විදේශ අමාත්‍ය තිලක් මාරපන ද මුණ ගැසී තිබේ.

ජනපති, අගමැති හා විදේශ ඇමැති හමු වල දර්ශන හා ඡායාරූප රජය විසින්  සපයා තිබුනත්  සාකච්ඡා වූ කරුනු පිළිබඳ විස්තර මාධ්‍යවේදීන්ට ලබා දී නැත.

මේ අතර සිංහල අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ප්‍රහාරයෙන් විනාශ වූ දිගන මස්ජිදූන් නූර් ජුම්මා මස්ජිඩ් දේවස්ථානයේ දායකයන් සිකුරාදා සිය ආගමික වතාවත් පවත්වා ඇත්තේ යාබද පාසල් ක්‍රීඩා පිටියේ සහ මහා මාර්ගයේය.

ප්‍රදේශයේ තත්වය සන්සුන් බව ප්‍රකාශ කරන ආණ්ඩුව සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා උදෑසන දක්වා ඇඳිරි නීතිය නැවත පනවා තිබේ.

Related posts

Comments are closed.

Top