තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අපනයනයෙන් ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක 9 වන කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ශ්‍රී ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිත කර්මාන්තකරණයට නැඹුරු වී සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පවසයි.

මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය කර්මාන්ත අපනයනයෙන් ශ්‍රී ලංකාව 4 වන ස්ථානයේ පසුවන අතර, එය ඉදිරි වසර කීපය තුළ පළමු ස්ථානයට ගෙන ඒමට අපේක්‍ෂා කරන බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවති ” ඩිජිටල් වෙළඳ හා කර්මාන්තකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආසියානු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වැඩමුළුවේ ” ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

මෙම ජාත්‍යන්තර සමුළුව 2018 මාර්තු 8 – 9 දිනවල පවත්වා ඇත.

මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා වාණිජ කටයුතු සංවිධාන හෙවත් UNCTAD  සංවිධානය විසින් සංවිධානය කර ඇති  අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියාවේ ලෝක වෙළඳ සංවිධාන අධ්‍යයන මධ්‍යස්ථානය (Center for WTO Studies of India ) හා ශ්‍රි ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව (Sri Lanka Export Credit Insurance Coperation ) සහයෝගය ලබා දී තිබේ.

මෙහිදී කර්මාන්ත හා ව්‍යවසායකත්වයන්, ඩිජිටල්කරණය හා කර්මාන්තකරණය කිරිම පිළිබඳව වන ප්‍රතිපත්ති සම්පාදනය ගැන අවධානය යොමු කර ඇත.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසා ඇත්තේ “මෙම කාර්මිකකරණය හා නිෂ්පාදනය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා ඇති ප්‍රධානතම නියමු ක්‍රියාවලියක් වෙනවා. එම නිසා මගේ අමාත්‍යාංශය උත්සහ කරන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්කයන්හි 9 වැනි රාමුව සමඟ ඒකාබද්ධ වී, ඊට අනුගත වී අපගේ කර්මාන්ත නඟා සිටුවීම අපගේ ඉලක්කයයි. එය පාදක කර ගනිමින් රටේ සංවර්ධනයට ප්‍රධාන නියමු ව්‍යාපෘති දෙකක් අප ආරම්භ කරලා තියෙනවා.”

“අප රටේ දේශීය තොරතුරු සන්නිවේදන ආයතන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ මෘදුකාංග නිෂ්පාදන ලෝකයේ රටවල්වලට අපනයනය කරනවා. ඒ අතර උතුරු ඇමරිකාව, යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ආසියාතික හා මැදපෙරදිග රටවල් මෙන්ම අප්‍රිකාව හා උතුරු කලාපය විශේෂ වෙනවා. මීට අමතරව අප ලෝකයේ සුපිරි 500 යේ කර්මාන්ත සමග ද එකතුව සිටිනවා. එසේම ස්වීඩනය, නොර්වේ, එක්සත් ජනපදය, හා ජපානය ඇතුළු රටවල් කීපයක් සමඟ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ හවුල් ව්‍යාපාරද ආරම්භ කර තියෙනවා.”

“එසේම අපගේ රජයේ දැක්ම වන්නේ 2022 දී ශ්‍රි ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන හා ඩිජිටල් සවිබල ගැන්වීම සහිත වූ තරඟකාරී තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි. එමඟින් අපි තොරතුරු තාක්‍ෂණ අංශයේ නව රැකියා අවස්ථාවන් 200,000 ක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

එහිදී UNCTAD සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය රශ්මි බංගා, රජයේ වාණිජ අධ්‍යක්‍ෂ ජනරාල් සොනාලි විජේරත්න ද අදහස් දක්වා තිබේ.

 

Related posts

Comments are closed.

Top