මියන්මාරය  රෝහින්ග්‍යා ගම්මාන “හමුදාකරණයේ”

ලක්ෂ සංඛ්‍යාත ජනකායකට උන්හිටිතැන් අහිමි කරමින් මින් මාස කිහිපයකට පෙර අළු කරදැමූ රෝහින්ග්‍යා ගම්බිම් මත ආරක්ෂක බල කඳවුරු ගොඩනඟන මියන්මාර බලධාරීන්, රඛයින් ප්‍රාන්තය කඩිනමින් හමුදාකරණය කිරීමට සුදානම් වන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් චෝදනා එල්ල කරයි.

චන්ද්‍රිකා  ඡායාරූප සහ සාක්ෂිකරුවන් ගෙනහැර දක්වන ඇම්නස්ටි සංවිධානය අවධාරණය කරන්නේ ගම්මාන පොළවට සමතලා කරමින් වසර ආරම්භයේ පටන් නව ඉදිකිරීම් සිදු කරන බවයි.

මෙම නව වාර්තාව සම්බන්ධයෙන් බුරුම රජය මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නැත.

රෝහින්ග්‍යා සුළුතරයට එරෙහිව “වර්ග සංහාරයක්” දියත් කළේ යැයි  එක්සත් ජාතින් නගන චෝදනා ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබේ නම් විමර්ශන පැවැත්වීමට සහාය දැක්විය හැකි බව මියන්මාර රජය මින් පෙර ප්‍රකාශ කර තිබුණි.

සාක්ෂි මුලිනුපුටා දැමීමක්

කඩිමුඩියේ සිදු කරන හමුදාකරණය මඟින් රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදු වූ අපරාධ පිළිබඳ සාක්ෂි අතුගා දැමෙන බව ලන්ඩනය කේන්ද්‍ර කරගත් සංවිධානය පවසයි.

“මනුෂ්‍ය වර්ගයාට සහ රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව අපරාධ දියත් කරන ලද ආරක්ෂක අංශ වෙනුවෙන්මයි නව වාසස්ථාන ඉදිවෙමින් පවතින්නේ,” යනුවෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අර්බුද ප්‍රතිචාර අංශයේ අධ්‍යක්ෂ ටිරානා හසන් පැවසුවාය.

“ඉන් සිදුවන්නේ රෝහින්ග්‍යා සරණාගතයන් ස්ව කැමැත්තෙන්, ආරක්ෂිතව සහ ගෞරවාන්විතව සිය ගම්බිම් බලා නැවත පැමිණීමට ඇති අවස්ථාව තවත් පස්සට යන එකයි.”

හමුදා වාසස්ථාන ඉදිකිරීමට පෙර

 

හමුදා වාසස්ථාන ඉදිකිරීමෙන් පසු

මින්පෙර රෝහින්ග්‍යා ගම්මාන පිහිටා තිබු ස්ථාන මැදි කරගනිමින් හමුදා වාසස්ථාන සහ මහාමාර්ග ඉදි කර ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

ගම්බිම් සම්පුර්ණයෙන්ම පාහේ සමතලා කිරීමෙන් “මානව වර්ගයාට එරෙහිව සිදු කළ අපරාධ පිළිබඳ සාක්ෂි බලධාරීන් විසින් මුලිනුපුටා දැමීම නිසා, ඊට වගකිව යුත්තන් හසු කරගැනීම ඉදිරියේදී ඉතාමත් අපහසු කටයුත්තක් වේවි.” යැයි ටිරානා හසන් පවසන්නීය.

ඉකුත් වසරේ අගෝස්තු 25 බුරුම පොලිස් මුරපොල කිහිපයකට කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එරට හමුදා විසින් දියත් කරනු ලැබූ දැවැන්ත මෙහෙයුම් නිසා හත් ලක්ෂයකට ආසන්න පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා ගොස් තිබේ.

කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා මෙහෙයුම් දියත් කළ බව රජය පවසා සිටි නමුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සමූල ඝාතන සහ ගම්මාන ගිනිබත් කිරීම් පිළිබඳව ද වාර්තා වී ඇත.

Related posts

Comments are closed.

Top