මුස්ලිම්වරුන්ට “ගහපු අය දන්නවා, පැමිණිලි කරන්න බයයි” ඇමැති හලීම් | VIDEO

හමුදා බලසේනා යොදවා මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා බවට යුද හමුදාපතිවරයා සහතික වුනත් මුස්ලිම් විරෝධී ප්‍රහාරයට හවුල් වූ හමුදා සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා  පීඩාවට පත්වූවන් බියෙන් සිටින බවට ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍යවරයකු පවසයි.

පළාතේ ඉස්ලාමීය දේවස්ථානයක් දැනුම් දී ඇති පරිදි අඩුම වශයෙන් පවුල් හාරදහසක් පීඩාවට පත්ව සිටී.

රජයේ ආරක්ෂක අංශ කෙරේ තැබූ විශ්වාසය කඩවී ඇතැයි මහනුවර දිසාපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී කියා සිටි  මුස්ලිම් ආගමික කටයුතු භාර අමාත්‍යවරයා “ආරක්ෂක හමුදා සතුටු කරන්න කතා කරලා වැඩක් නෑ,” යි කියා සිටියේය.

සිංහල බෞද්ධ අන්තවාදී ප්‍රහාරයෙන් පීඩාවට පත් මුස්ලිම්වරුන් “ගහපු අය දන්නවා, පැමිණිලි කරන්න බයයි” යනුවෙන්  අමාත්‍ය මොහොමඩ් හසීම් අබ්දුල් හලීම්  ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පරිපාලන ප්‍රධානීන් ද සහභාගිවූ රැස්වීමේදී පැවසීය.

“කාවද අපි විශ්වාස කරන්නේ. මේ ආරක්ෂක අංශ ඉදිරියේ තමයි සියලුම දේවල් සිදුවුනේ,” යි කී  අමාත්‍යවරයා ආරක්ෂක සෙබළුන්ගේද දායකත්වයෙන් සිදුවූ ප්‍රහාර කිහිපයක් පිලිබඳ විස්තර ගෙනහැර දැක්වීය.

කැරලිකරුවන්ට STF සහාය

කුඹුක්කඳුරේ ඉස්ලාමීය දේවස්ථානයේ ආරක්ෂාවට සිටි මුස්ලිම් පිරිස පලවා හැර ප්‍රහාරයට ඉඩ ලබා දුන්නේ විශේෂ කාර්ය සාධක බලකාය බවට අමාත්‍ය හලීම් තොරතුරු ඉදිරිපත්  කළේය.

“STF එක ඇවිල්ලා ඒ කට්ටිය පන්නලා, ඊට පස්සේ අවස්ථාව ලබා දුන්නා කැරලිකාරයන්ට ඇවිත් ගහලා යන්න. සමහර ප්‍රදේශවල මට කිව්වා පොලිසිය ඒ අයට කියලා තියෙනවා උඹලට පැයක් දෙන්නම් ගහලා යන්න.”

දිසාපති කාර්යාලයේ සාකච්ඡාවට මුස්ලිම් නියෝජිතයන් සමග පැමිණ සිටි හාරිස්පත්තුව එඬරුතැන්නේ අබ්දුල් ලතීෆ් හැඬුම්බරව කියා සිටියේ ප්‍රහාරයෙන් අනාථ වූ තමන්ට ඇඳිවත පවා අහිමි වූ බවයි.

“අපි මහපාරේද ඉන්නේ කොහෙද ඉන්නේ කියාලා ඔබතුමාලා තීරණයක් දෙන්න ඕනේ,” යි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

හමුදාව ආවේ නෑ

ප්‍රදේශයේ කඳවුරු ලා සිටින හමුදා සේනාංක තුනකම සෙන්පතියන් තමන්ගේ ආරක්ෂාවට නොපැමිණි බව අබ්දුල් ලතීෆ් ප්‍රකාශ කළේ මහත් කම්පාවෙනි.

දැනුම් දෙන්න ඕනේ හැමෝටම දැනුම් දුන්නා, නුවර හමුදාවේ ආඥාපති, මාතලේ හමුදා ආඥාපති, ගම්පොල හමුදා ආඥාපති – ඉතින් ඔය පඩි අරගෙන අපි වෙනුවෙන් ඉන්න මිනිස්සු මොනවද කරන්නේ?

ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට කැලෑ වැදී සැඟවීමටත්, ඉන් අනතුරුව පාසලක කල් ගත කිරීමටත් තමන්ට සිදුවූ බව එඬරුතැන්නේ ගම්වාසීන් පවසන අතර නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් හලීම් කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ අනාථ කඳවුරු කිහිපයක්ම පිහිටුවන්නට සිදුවී තිබෙන බවයි.

පවුල් හාරදාහක්

කන්ද උඩරට මුස්ලිම් විරෝධී ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් දහස් ගණනකට සහනාධාර අවශ්‍යවී තිබෙන බව  දිගන ආසන්නයේ රජවැල්ලේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් පවසයි.

කුඹුක්කඳුර අල් මස්ජිදුල් අක්බර් ජුම්මා පල්ලියේ පාලක සභාව පවසන පරිදි බලගොල්ල, කින්ගල්ල, පල්ලෙකැලේ, අලුත්වත්ත, දිගන, හිජ්රාපුරම්, අඹගහවත්ත, කුඹුක්කඳුර, උඩල්පත්තුව සහ අම්බාල යන ප්‍රදේශ වල පමණක් අඩුම වශයෙන් පවුල් හාරදහසක් පීඩාවට පත්ව සිටී.

සති අන්තයේ  ලැබී තිබුනු සංඛ්‍යා ලේඛණවලට අනුව ආගමික සිද්ධස්ථාන, නිවාස, වාහන, ව්‍යාපාරික ස්ථාන ඇතුළු අනෙකුත් ආයතන 465 කට හානි සිදුවී තිබෙන බව මහනුවර නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ සතිය තුල “මේ සෙල්ලම අවසන් කිරීමේ” අපේක්ෂාව දිසාපති කාර්යාල රැස්වීමේදී  පලකළ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් හලීම්  පීඩාවට හා හානියට පත් ජනතාවට ඉක්මන් සහන සැලසීමට පියවර ගන්නා බව කියා සිටියේය.

 

 

Related posts

Comments are closed.

Top