කන්ද උඩරට තිබුනේ ‘ගැටුම්’ නොවේ, සංවිධානය කළ ප්‍රහාරයි   

මහනුවර දිස්ත්‍රික්කය අවුළුවා ලමින් පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ‘ගැටුම්’ ලෙස හුවා දැක්වීම වැරදි සහගත බව පෙන්වා දෙන ජාත්‍යන්තර සංවිධානයක් පීඩාවට පත් අයගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි පියවර නොගැනීම නිසා ආණ්ඩුව කෙරේ ඇති විශ්වාසය බිඳී ගොස් ඇති බවට අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව මෑතදී  දියත් කරන ලද ප්‍රහාර සම්බන්ධ ප්‍රකාශයක් කරන බ්‍රසල්ස් නුවර මුලස්ථාන කොටගත් ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් කණ්ඩායම (ICG) මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ සහායෙන් 2012-2014 කාලයේ මුලින්ම මතුවූ කැරලිකාර බෞද්ධ කණ්ඩායම් නැවත ඉස්මතු වීම දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩත්වයෙන් පෙන්නුම් කරන බව පවසයි.

“පසුගිය දවස් දහයේ සිදුවූයේ බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රාදේශීය “ගැටුම්” නොවේ,” යි ICG ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා විශ්ලේෂක ඇලන් කීනන් ප්‍රකාශ කරයි.

“ඒවා තම අරමුණු සම්ප්‍රදායික සහ සමාජ මාධ්‍ය ඔස්සේ මැනවින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන, හොඳින් දැන හඳුනාගත් ජාතික මට්ටමේ සටන්කාමී කණ්ඩායම් විසින් දියත් කරන ලද සංවිධිත හා ඉලක්කගත ප්‍රහාරයි.”

කැරලිකාරිත්වයට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන බෞද්ධ භික්ෂුන් ඇතුළු අපරාධකරුවන්ට විරුද්ධව පියවර ගැනීමට ආණ්ඩුව බියෙන් සිටින බව පෙනී යාම නිසා ප්‍රහාරකයන් බියෙන් තොරව කටයුතු කරන බව ICG ප්‍රකාශය පෙන්වා දී තිබේ.

“වර්තමාන සභාග ආණ්ඩුවේ පළමු අවුරුදු දෙක තුල යටපත් වූ මුස්ලිම් වරුන්ට එරෙහි ප්‍රහාර 2017 අප්‍රේල් සහ මැයි අතර සති හයක කාලයකටත් 2017 නොවම්බරයේ දවස් දෙකකටත් නැවත ආරම්භ විය. රාජපක්ෂ තන්ත්‍රය  යටතේ ප්‍රචණ්ඩත්වය සහ වෛරී භාෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත් වීම නිසා කැරලිකාරීන් නිර්භීත වීම ඊට හේතුව ලෙස පෙනී යයි.”

මුස්ලිම් සහ සිංහල ප්‍රජාවන් දෙක අතර පවතින අවිශ්වාසය සහ අනවබෝධය සම්බන්ධයෙන් පියවර ගැනීමට හෝ ප්‍රචණ්ඩතාව වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරන නැතහොත් ප්‍රචණ්ඩතාව යොදා ගන්නා බෞද්ධයන් සුළු  පිරිස බැඳ තැබීමට පියවර ගෙන නැතැයි ICG ආණ්ඩුවට දොස් පවරා තිබේ.

“ප්‍රචණ්ඩත්වය සහ වෛරී භාෂණය පසුපස සිටින ප්‍රධාන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට වහාම ක්‍රියාත්මක වී ආණ්ඩුව එහි අවශ්‍යතාව බෞද්ධ ආගමික නායකත්වයට සහ පොදු මහජනයාට පැහැදිලි කළොත්, එම ප්‍රතිපත්ති සඳහා සහාය ලබා ගැනීමේ ඉඩක් පවතී,”  යයි ඇලන් කීනන් පවසයි.

වර්තමාන බෞද්ධ ප්‍රහාර රැල්ලේ සැලසුමක් වන්නේ මුස්ලිම්වරුන්ගෙන්ද ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් අවුස්සා ගැනීම මගින් එම ප්‍රජාවට එරෙහි පුළුල් ප්‍රහාරයක් යුක්ති සහගත කිරීම යැයි ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා බිය පල කරන බව ICG ප්‍රකාශනයේ දැක්වේ.

 

Related posts

Comments are closed.

Top