මහනුවර ඉහලම පොලිස් ලොක්කා දිගන කලබල වලට හවුල් බවට චෝදනා | VIDEO

 

මුස්ලිම් විරෝධී උඩරට කැරැල්ලට පොලිසිය හා හමුදාව හවුල් වූ බවට තොරතුරු හෙළිවෙද්දී, එහි  මහමොලකරුවකු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මහසෝන් බලකායේ නායකයා ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් දා රාත්‍රියේ දිගනට ගෙන්වාගත්තේ මහනුවර නීතිය හා සාමය භාර ප්‍රධාන පොලිස් නිලධාරියා බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති වරයකු සිංහල දැඩි මතධාරී මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහට දුරකතනයෙන් කතාකොට කැඳවා කෝලාහල වලට පටලැවූ බවට ඔහුගේ බිරිඳ කළ ප්‍රකාශයක් මහ දවාලේ දිගන නගරයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වූ මාර්තු 5දා  එහි ගොස් සිටි මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමිද තහවුරු කර සිටී.

තම සැමියා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ ජයංගනී සිතුම් කුමාරි කියා සිටින්නේ ඔහු ප්‍රහාරයට හවුල් කර ගත්තේ මහනුවර නියෝජ්‍ය පොලිස්පති බවයි.

“නුවර DIG මහත්තයා තමයි අමිත් වීරසිංහ ඔයා මේ වෙලාවේ මෙතෙන්ට එන්න කියලා මේ ප්‍රශ්නෙට එයාව පටලැව්වේ,” යි ජයංගනී සිතුම් කුමාරි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය.

ඇය විසින් නම් නොකරන ලද ඉහල පොලිස් නිලධාරියා මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ බවයි මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති පවසන්නේ.

“ෂේප් කරන්න” කැඳවීමක්

දිගන ගැටුම්කාරී තත්වයක් ඇති බව දුරකථන ඇමතුමකින් දැනුම් දුන් දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහළම නිලධාරියා, අමිත් වීරසිංහ එහි කැඳවා “උගුලකට හසුකරන” ලද බව හිමිනම ගගන හා කියා සිටියේය.

“හතරවෙනිදා තමයි අමිත්ට ඩීඅයිජී මහත්තයා එන්න කියන්නේ මෙතන මේ කලබලයක් ඇතිවෙයි පොඩ්ඩක් ඇවිත් ෂේප් කරන්න කියලා: ඒ කියන්නේ අමිත් එතෙන්ට ගෙන්නලාම තමයි කලබලේ ඇති කරන්නේ,” යි අම්පිටියේ සුමන හිමි පැවසීය.

“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට මුලස්ථාන පොලිස් පරීක්ෂක දක්වා හිටපු සියලුම නිලධාරීන් කරපු දේ තමයි පළාතේ සියලු භික්ෂුන් වහන්සේලා පොලිසියට කැඳවලා, අමිත් වීරසිංහ පොලිසියට කැඳවලා දේශපාලන පක්ෂ කැඳවලා මේ ගැටුම ඇතිකළේ ඒ පොලීසියේ හිටපු නිලධාරීන් කියලා මේ ලෝකේ ඕනේ තැනක සාක්කි දෙන්න මම සුදානම්.”

දිගන කැරළිකාරිත්වයට අමිත් වීරසිංහ ගෙන්වන ලද බවට එල්ලවන චෝදනා සම්බන්ධ ප්‍රතිචාරය දැනගැනීමට නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ අමතන්නට ගගන ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

මාර්තු 4 වැනිදා රාත්‍රියේ දිගන නගරයේ මුස්ලිම් දේපලට පහර දී ගිනි තැබීමේ සැකයට අත් අඩංගුවට ගන්නා ලද 24 දෙනකු නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කරන ජනකායක් තෙල්දෙණිය පොලිස් ස්ථානය වැටලූ අවස්ථාවේ ඒ තුල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග වූ භික්ෂුන් වහන්සේ අතර මංගලාරාම විහාරාධිපති ද මහසෝන් බලකායේ නායකයා ද සිටිනු දක්නට ලැබුනි.

තමන් සමග දිවයිනේ විවිධ පළාත් වලින් පිරිස් පැමිණ සිටින බව අමිත් වීරසිංහ එහිදී ප්‍රකාශ කර සිටියේය.

සාක්ෂි තියෙනවා

දිගන නගරයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් දියත් වීම සම්බන්ධයෙන් පොලිසිය මේතාක් කිසිදු විමසීමක් කර නැති බව කී අම්පිටියේ සුමන හිමි මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහසෝන් බලකායේ ප්‍රධානියා අතර කෙරුනු කතාබහ පිළිබඳ “වීඩියෝ සහ ඕඩියෝ” සාක්ෂි තමන් සතුව ඇති බව කියා සිටී.

කැරලි නායකයා සහ මහනුවර පොලිස් ප්‍රධානියා අතර කලක පටන් සම්බන්ධතාවක් පැවති බවද උන්වහන්සේ හෙළි කර සිටියහ.

මහනුවර කැරැල්ලෙන් සිද්ධස්ථාන 65කට හානි සිදුකොට තුවාල කිරීමේ සිද්ධි 28 ක් වාර්තා වී ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සාපරාධි ක්‍රියා සම්බන්ධ 280ක් අත්අඩංගුවට ගන්නා ලද බව 13 අඟහරුවාදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේය.

පොලිසිය හා යුද හමුදාව කැරලිකරුවන්ට හවුල් වූ බවට තොරතුරු මුස්ලිම් කටයුතු භාර අමාත්‍ය අබ්දුල් හලීම් ද විස්තර කර තිබේ.

Related posts

Comments are closed.

Top