රට තුළ මාධ්‍ය වාරණයක් ගැන වෙබ් අඩවි මාධ්‍යවේදීහු අනතුරු අඟවති|VIDEO

රට තුළ මාධ්‍ය වාරණයක් ක්‍රියාත්මක වන බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

රටේ පවතින තත්වය සලකා බලා පැය 72 ක කාලයක් සදහා පමණක් සමාජ මාධ්‍ය තහනම් කරන බවට රජය පැවසු  කාලය අවසන්ව ඇතත් තහනම ඉවත් කිරීමට රජය කටයුතු නොකිරීම මාධ්‍ය වාරණයක්  බවයි වෘත්තීය වෙබ් මාධ්‍යෙව්දීන්ගේ සංගමගේ කැදවුම්කරු මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ පවසන්නේ.

ඔහු ඒ බව කියා සිටියේ “මෙය මාධ්‍ය වාරණයක් පැය 72 ත් අවසන් “තේමා ව කරගනිමින් 13 බදාදා මරදාන පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

පැය 72 ක කාලයක් සදහා වුවත් සමාජ මාධ්‍ය වාරණය කිරීමට අවශ්‍ය නොමැති බව පෙන්වා දෙන ඔහු සදහන් කළේ එවැනි කාලයක් සදහා වුවද සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් සිය සංගමය විරෝධය දක්වන බවයි.

සමාජ මාධ්‍ය ගැටළු

රටේ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පවතින නමුත් එයට විසදුම එම මාධ්‍ය තහනම් කිරීම නොවන බව පෙන්වා දුන් වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමගේ කැදවුම්කරු අවධාරණය කළේ “සදාචාරාත්මක වෙබ් මාධ්‍ය කලාවක්” රට තුළ ස්ථාපිත වන ආකාරයටම “ආචාර ධාර්මික සමාජ මාධ්‍ය කලාවක්” ද රට තුළ ස්ථාපිත විය යුතු බවයි.

සමාජ මාධ්‍ය වාරණය සම්පුර්ණයෙන්ම අහෝසි කර දැමීම සදහා රජය වහාම තීන්දුවක් ගත යුතු බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

මුහුණු පොත නොමිලයේ භාවිත කිරීම සදහා මාර්ක් සකර්බග් විසින් ලබා දී තිබෙන අවස්ථාව සම්බන්ධයෙන් සතුටු විය යුතු බව  එම මාධ්‍ය හමුවේදී කියා සිටි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැලුම් ශිවන්ත පෙන්වා දුන්නේ ඒ හරහා ලෝකය සමග ගනුදෙනු කිරීමට මෙන්ම තොරතුරු ලබා ගැනීමටද හැකිව ඇති බවයි.


නමුත් එක් කාරනාවක් මුල් කරගනිමින් මෙසේ සමාජ මාධ්‍ය වාරණය කර ඇති බව ඔහු සදහන් කළේය.

“මෙන්න මේ කාරනාව තමයි අපිට අහන්න තියෙන්නේ. ඒක ගිනි කුරකින් පුලුවන් ඒ ගිනි කුර දල්වලා මුලු ගමක්,  මුලු නගරයක් එහෙම නැත්තම් පාසලක් සියල්ල විනාශ කර දමන්න පුලුවන්. හැබැයි අපි එහෙම කරනවා කියලා ගිනිකුරු භාවිතය අත අරින්න ඕනද? ” ඔහු එහිදී ප්‍රශ්න කළේය.

රජයේ අසාර්ථක භාවය

සමාජ මාධ්‍ය වාරණය ඔහු විසින් හදුන්වනු ලැබුවේ රජයේ අසාර්ථකත්වය වසා ගැනීම සදහා කරනු ලබන උපක්‍රමයක් ලෙසයි.

සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිත කිරීමට හැකි දක්ෂ පිරිසක් රජය සතුව නොමැති බවද පෙන්වා දුන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැලුම් සදහන් කළේ සමාජ මාධ්‍ය මගින් කිසිදු වාසියක් අත්කරගැනීමට පසුගිය සමයේ රජය අසමත් වු බවයි.

එම මාධ්‍ය හමුවේදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාජිකයන් වන නුවන් හෙට්ටිආරච්චි, කනිෂ්ක රාජකරුණා, නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක, විමුක්ති දුෂ්‍යන්ත යනාදීන්ද අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාවේ තරුණ ජනමාධ්‍යවේදීන්

මේ අතර, මුහුණු පොත අවහිර කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති පියවර නිදහස් අදහස් ප්‍රකාශනයට සහ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා පැමිණවීමක් බව ශ්‍රී ලංකාවේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

තොරතුරු සොයා ගැනීමට මෙන්ම සමාජ, දේශපාලන හා ආර්ථික මති මතාන්තර බෙදාහදාගැනීමටත් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පිරිසක් මුහුණු පොත යොදා ගන්න බව පෙන්වා දෙන සංගමය මුහුණු  පොතට සීමා පැනවීම මගින් ආණ්ඩු විරෝධී අදහස් වාරණයට ආණ්ඩුව මග පාදා ගනු ඇති බවට බිය පල කරයි.

පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශ තුළ සිදුවු කලහකාරි ක්‍රියා හේතුවෙන් වයිබර් සමාජ ජාලය (Viber) වෙත තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය 13 අගහරුවාදා  මධ්‍යම රාත්‍රියේ  සිට නැවත ලබා දීමට රජය තීරණය කළ බව ත් එම මාධ්‍ය භාවිතා කරමින් සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ අත්සනින් යුතුව 13 අගහරුවාදා  නිකුත් කළ නිවේදනයක සදහන්ව තිබුනි.

Related posts

Comments are closed.

Top