ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ නඩුව ඇතුලත් වාර්තාවක් ජිනීවාවේ  

යුද අපරාධ චූදිතයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අත්දැකීම් හා නිර්දේශ එළිදක්වා  ඇති වාර්තාවක ශ්‍රී ලංකාවේ සෙන්පතියකුට එරෙහිව විදේශ වලදී පවරන ලද නඩු ද ආදර්ශයක් ලෙස දක්වා තිබේ.

ඉකුත් වසරේ දී යුද අපරාධකරුවන්ට සහ මානව වර්ගයාට එරෙහි අපරාධකරුවන්ට විරුද්ධව ගෙන ඇති ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජිනීවා මූලස්ථාන කොටගත් ට්‍රයල්  (TRIAL) ජාත්‍යන්තරය විසින්  පළකර ඇති වාර්ෂික වාර්තාවේ හිටපු යුද හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව ලතින් ඇමරිකා රටවල පවරන ලද නඩු සම්බන්ධයෙන්ද තොරතුරු දැක්වේ.

ලොව පුරා පවරන ලද නඩු 58ක් පිළිබඳ විස්තර රැගත් “යුක්තියට ඉඩ දෙන්න #4” වාර්තාව දණ්ඩ මුක්තිය හා ජාත්‍යන්තර පරිමානයේ අපරාධ වලට එරෙහිව සටන් වදින TRIAL ජාත්‍යන්තරය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 37 සැසිවාරයට සමගාමීව ජිනීවා නුවරදී ප්‍රකාශයට පත් කර තිබේ.

චුදිතයන් 126 දෙනකු සම්බන්ධයෙන් යුරෝපයේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල් 14 කදී පසුගිය වසර තුල ගොනු කරන ලද නඩු 58ක් පිළිබඳ විස්තර පිලිප් ග්‍රාන්ට් සහ වැලරි පෝලේ විසින් සංස්කරණය කරන ලද පිටු 107 ක වාර්තාවේ සඳහන් වේ.

ඒ අතරින් 91 දෙනකුටම චෝදනා නගා ඇත්තේ යුද අපරාධ සම්බන්ධයෙනි.

චෝදනා 55 ක් වධහිංසා සම්බන්ධයෙනි. 12 ක්ම වර්ග සංහාර චෝදනාය.

ශ්‍රී ලංකාවේ අසමත් කම

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පසුගිය දස මාසයේ ශ්‍රී ලංකාව දක්වා  ඇත්තේ  අසමත්කමකැ’යි අවධාරණය කරමින් “වගවීම නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ඇතුළු වෙනත් මාර්ග යොදාගැනීම සම්බන්ධයෙන් සොයාබලන” මෙන් ජගත් මානව හිමිකම් ප්‍රධානියා සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙවර මානව හිමිකම් සැසිවාරය ආරම්භයේ දීය.

යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත්  ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ප්‍රමුඛ ලතින් ඇමරිකානු මානව හිමිකම් කණ්ඩායම් විසින් 2015 සිට ශ්‍රී බ්‍රසීලයේ තානාපතිධුරය හෙබවූ හිටපු හමුදාපති ජගත් ජයසූරියට ට එරෙහිව යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා නගා අගෝස්තු 28 දා  බ්‍රසීලයේ හා කොලොම්බියාවෙදී නඩු පැවරීම මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් විසින් විශේෂ කොට දක්වා තිබුනි.

“යුක්තියට ඉඩ දෙන්න #4” වාර්තාව ද ජාත්‍යන්තර යුක්ති විනිශ්චය සම්බන්ධයෙන් පසුගිය වසරේ සිදුවූ වැදගත් වර්ධන මාලාව අතරට ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි නඩු ඇතුලත් කර තිබේ.

යුද්ධයේ අවසන් අදියරේ දී උතුරේ ආරෝග්‍යශාලා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ, ඝාතන සිදු කළ, දහස් ගණනක් ජනතාව අතුරුදහන්කිරීමට  සහ හිංසනයට ලක් කළ හමුදා බලසේනා  ජගත් ජයසුරියගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බවට ඔහුට චෝදනා ගොනුකර තිබේ.

ජගත් ජයසූරිය ඇතුළු කිසිදු යුද සෙන්පතියකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බවට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් යුද සමයේ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ හමුදා නිලධාරීන් රණවිරුවන් ලෙස හඳුන්වමින් ආරක්ෂා කිරීම රජයේ වගකීම  නොවන බවයි.

Related posts

Comments are closed.

Top