හිදැස: කඳුරට වෛරය- එකිනෙකට පරස්පර සිංහල හා දෙමළ පුවත් වාර්තාකරණ

දෙමළ මෙන්ම සිංහල පුවත්පත්ද වාර්තා කොට තිබුණේ, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ‍රැල්ල ඇවිලවූ ගිණි පුළිඟුව වූයේ මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු අතින් ලැබූ තුවාල වලින්  සිංහල ට්‍රක් රථ රියැදුරුවරයකු මරුමුවට පත්වීම බවයි. කෙසේ වුවත් සිංහල පුවත්පත් වලට වෙනස් වෙමින් දමිළ පුවත්පත් මත දැක්වීම් මගින් ගම්‍ය කොට තිබුණේ ජාතිකවාදී සිංහල බෞද්ධ කොටස් මගින් අනියම් ලෙසින් නැතිනම් අවස්ථාවාදී ලෙසින්, නුවර සුළුතර මුස්ලිම් ප්‍රජාවට හොඳින් සැලසුම් කරනු ලැබූ ප්‍රහාරයක් දියත් කිරීමට ව්‍යාජ හේතුවක් ලෙසින් මෙම සිදුවීම යොදාගත් බවයි. දමිළ පුවත් වාර්තාවන්ගෙන් ප්‍රකාශ වූ ආකාරයට කලහකාරීන් කල් තියාම පිට ප්‍රදේශ වලින් ගෙනැවිත් තිබුණේ, අවමංගල්‍යය දිනයේදී මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් දියත් කිරීම උදෙසායි.

තෙල්දෙණිය ප්‍රදේශයේ පල්ලි වලට සහ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට ප්‍රහාර එල්ල වීමෙන් පසු දිනයේදී සිංහල පුවත්පත් මගින් මෙම ප්‍රචණ්ඩත්වයන් විස්තර කිරීමට ‘ගැ‍ටුමක්’, ‘කලබලයක්’ සහ ‘ආතතියක්’ යන යෙදුම් භාවිතා කොට තිබිණි. මෙසේ මෙම වාර්තාවන් මගින් එම සිදුවීම සිංහලයන් සහ මුස්ලිමුන් අතර ක්ෂණිකව එකිනෙකා අතර ඇතිවූ ප්‍රාදේශීය ගැ‍ටුමක් බවට පත් කොට තිබුණි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් නිරීක්ෂණය කොට තිබුණේ “සිංහල තරුණයන් සිය ගණනකින් සැදි කලහකාරී පිරිස් විසින් පල්ලි සහ මුස්ලිම් වෙළෙඳසැල් ගිණිබත් කළ” බවයි.

පොලිසියේ අසමත්කම සහ ආයතනගත වර්ගවාදය

ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට පෙරාතුව මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන ස්ථවිරයන් විසින් කුපිත කරවන සුළු කථාවක් සිදුකරනු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට ඉදිරිපත් වී තිබුණද, ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පෙළඹවීමට බෞද්ධ භික්ෂූන් විසින් කළ භූමිකාව සම්බන්ධයෙන් සිංහල පුවත්පත් විපරම් කොට බලා නොතිබුණි. සිංහල ට්‍රක් රථ රියැදුරුවරයාගේ අවමංගල්‍ය අවස්ථාවේදී සුමනරතන හිමියන්ගේ පෙනී සිටීම වාර්තා කරමින්, තිනකුරල් පුවත්පත මගින් නුවර සිදුවීමෙහි දෝෂාරෝපණයෙන් කොටසක් සෘජුවම අම්පිටිය සුමනරතන හිමියන් වෙත බැර කොට තිබිනි.

මෙම සිදුවීම වාර්තා කිරීමේදී සිංහල පුවත්පත් තුළ වූ යම් යම් කොටස් මගින් නීති ක්‍රියාත්මක කිරීමේ රජයේ ආයතනයන්හි අක්‍රියාකාරීත්වය වෙත දෝෂාරෝපණය කොට තිබුණත්, දමිළ පුවත්පත් මගින් එම අසමර්ථ වීම බැර කොට තිබුණේ ව්‍යුහය තුළ සහජයෙන්ම පවත්නා වර්ගවාදයටයි. තවදුරටත් දමිළ පුවත්පත් දේශපාලන මත දක්වන්නන් තර්ක කොට සිටියේ කුමන රජය බලයේ සිටියත් සුළුතර ප්‍රජාවන්ට එරෙහිව මෙවැනි සිදුවීම් පුනරාවර්තනය වීමට හේතුව වන්නේ, සුළුතරයට එරෙහිව සිදුකරනා අපරාධයන් සඳහා වැරදිකරුවන් දඬුවමින් නිදහස්ව සිටීමේ වාතාවරණයක් පැතිර පවතීම බවටයි. දේශපාලනික කුමන්ත්‍රණ චෝදනා සහ නැගී එන මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් සිංහල ප්‍රජාව තුළ වර්ධනය වන්නේ යැයි පැවසෙන එදිරිවාදිකම වැනි අනෙකුත් කරුණු වෙත සිය අවධානය යොමු කරමින් සිංහල පුවත්පත් කාර්යබහුලව සිටීම නිසා, යට දැක්වුණු ආකාරයේ තර්කයක් සිංහල පුවත්පත් තුළ දක්නට නොලැබුණි.

කාටුනය: තිනකුරල් දකුණේ – “උන් අල්ලන්නෙ නැත්තෙ ඇයි?” වමේ – “වැරදිකාරයන්ව අපි දන්නවා”වාලම්පුරි තුළ වර්ධනය වන මුස්ලිම්-විරෝධී හැඟීම් සහ දමිළ පුවත්පත්

යාපනය පදනම් කොටගත් දමිළ පුවත්පතක් වන වාලම්පුරි මගින් මෑතකදී මුස්ලිම්වරුන්ව – විශේෂයෙන්ම උතුරේ ජීවත් වන මුස්ලිම්වරුන්ව ඉලක්ක කරමින් එකිනෙකට වෙනස් කතුවැකි තුනක් ප්‍රකාශයට පත් කොට තිබිණි.

මුස්ලිම් කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඉහළ අනුපාතයක් ඇතැයි පැවසෙන කරුණ පිළිබඳව සඳහන් කරමින් වාලම්පුරි කතුවැකියක් මගින් දමිළ ප්‍රජාව පොළඹවා තිබුණේ ‘ වහාම සංවිධානය වන’ ලෙසටයි. කතුවැකිය මගින් ඉදිරිපත් කොට තිබූ අදහසක් වූයේ, වර්තමාන තත්වය දිගින් දිගටම පැවතුණහොත් 2030 වන විට මුස්ලිම් ප්‍රජාව රටේ දෙවැනි විශාලතම වාර්ගික කණ්ඩායම වනු ඇති බවටයි. මුස්ලිම් ජනගහණය මන්නාරම සහ මුලතිවු යන දිස්ත්‍රික්කයන්හි පිළිවෙලින් 25% කට සහ 5% කට වඩා අඩු වුවත්, වාලම්පුරි මගින් අනතුරු අඟවා තිබුණේ ඉක්මනින්ම මෙම ප්‍රදේශ මුස්ලිම් බහුතරය සහිත ප්‍රදේශයන් බවට පත්වනු ඇති බවටයි. එසේම යාපනයේ මුස්ලිම් හිමිකාරීත්වයෙන් යුතු ව්‍යාපාර ‘සීමාවක් නැතිව’ ව්‍යාප්ත වන බවද කතුවැකිය මගින් ප්‍රකාශ කොට තිබිණි.

අම්පාර මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමත් සමගින්ම නිකුත් වූ, “අප ප්‍රහාරයට ලක්වන විටදී තොප සිනාසුනහ” යන මැයින් සිරස්තල යෙදුණු තවත් වාලම්පුරි කතුවැකියකින් තර්ක කොට සිටියේ මුස්ලිම්වරුන් දැන් පීඩා ලබන්නේ සිවිල් යුද්ධය සමයේදී සිංහලයන්ගේ පස ගැනීමේ ප්‍රතිවිපාකයන්ගෙන් වන බවටයි. තවදුරටත් එයින් තිරව ප්‍රකාශ කරන්නට යෙදුණේ, අනාගතයේදී සිංහල-බෞද්ධ ප්‍රචණ්ඩත්වයේ ඉලක්කය වනු ඇත්තේ මුස්ලිම් ප්‍රජාව වන බවයි.

වාලම්පුරි පුවත්පතේ කර්තෘ වන එන්.විජේසුන්දරම් යනු උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් විසින් මූලිකත්වය දරණු ලබන දෙමළ ජනතා සභාවේ සම-කැඳවුම්කරුවෙකු වන අතර, මින් පෙරද හින්දු අන්තවාදය සහ හරක් මස් තහනමට සහාය පළ කිරීම යන ප්‍රෝක්ත චෝදනාවන් සඳහා විවේචනයට ලක් වූවෙකි. වාලම්පුරි පුවත්පතේ දේශපාලන ස්ථාවරය ගත් විට එය වඩාත්ම දැඩි දමිළ ජාතිකවාදයට සහාය පළ කරයි. පසු වූ පළාත් පාලන මැතිවරණයේදී වාලම්පුරි පුවත්පත ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණට ප්‍රබලව සහාය ලබාදුන් අතර, එම මැතිවරණයේදී ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ නැවතත් සිය මැතිවරණ වාසනාවන් ලබාගනිමින් දෙමළ ජාතික සන්ධානයට පමණක් පසුපසින් සිටිනා යාපනයේ දෙවෙනි විශාලතම පක්ෂය බවට පත්ව තිබුණි. කෙසේ වුවත් දමිළ පුවත්පත් තුළ ආගමික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී සිටිනා මුස්ලිම් සුළුතරය කෙරෙහි ඇති ප්‍රබල එදිරිවාදීකමක ආකාරයෙන් විද්‍යමාන වී ඇති දමිළ ජාතිකවාදය, අවධානයට ගත යුතු නව වර්ධනයකි.

කෙසේ වුවත්  මුස්ලිම්වරුන් කෙරෙහි වූ සමස්ත දමිළ පුවත්පත් මනෝභාවය වාලම්පුරි කතුවැකියෙන් ප්‍රකාශ වූවාට වඩා තරයේම වෙනස් වූ බවද කිව යුතුවේ. මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පැහැදිලිවම හෙළා දැකීමට අමතරව, දමිළ පුවත්පත් කතුවැකි සහ මත දැක්වීමේ ලිපි තුළින් මෙන්ම දමිළ දේශපාලනඥයන් ගණනාවකගේ අදහස් මගින්ද ඉල්ලා තිබුණේ මෙම අර්බුදකාරී අවස්ථාවේදී මෙම වාර්ගික කණ්ඩායම් දෙක අතර එක්සත්කම තබාගන්නා ලෙසයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top