විශ්වාසභංගය ජනපතිගේ “මහා පාවා දීමක්”: පුරවැසි සංවිධාන එකතුව |VIDEO

 

අගමැතිවරයා ඉවත් කිරීමේ ව්‍යායාමය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ජනාධිපතිවරයාගේ මෙහෙයැවීමෙන් සැලසුම් කොට ඇති “මහා පාවාදීමක්” ලෙසට ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුනු බලවේග වල දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ 2015 ජනවාරි ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ පුරවැසි සංවිධාන එකතුව විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ විශ්වාස භංගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ රැක ගැනීම වෙනුවෙන් පියවර ගන්නා ලෙසයි.

අලුතින් නීති සම්පාදනය කරමින් ජාතිවාදය හා ආගම්වාදය වැනි දුෂ්ට ක්‍රියාමාර්ග මැඩ පැවැත්වීම සඳහා  පියවර ගනිමින් ඉන්නා අවස්ථාවක අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය හමුවේ “යුක්තිය හා සාධාරනත්වය වෙනුවෙන් කල්පනා කරලා වැඩ කරන්න,” යි නව සම සමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

“බැඳුම්කරයට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ වහලා දාන්න බෑ,” යි ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා බලයට පත් කිරීමට වෙහෙසුනු බලවේග පාර්ලිමේන්තුව තුල නියෝජනය කරනු ලබන්නේ අගමැතිවරයා නායකත්වය දෙන කණ්ඩායම විනා මහින්ද රාජපක්ෂ සමග ඉන්නා “දෝෂාභියෝග කාරයන්” නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පැවසීය.

ඔවුන්ගේ අවශ්‍යතාව “රාජාණ්ඩු බලයක් පිහිටුවීම” යැයි අනතුරු ඇඟවූ  කථිකාචාර්ය වරයා වෙනත් පුද්ගලයන් පෙරට නොදා තමන්ගේ ප්‍රතිපත්තිය විවෘතව එලි දක්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අභියෝග කළේය.

Related posts

Comments are closed.

Top