තෝරාගත් කලාකාර පිරිසකට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් මහ කෑමක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හා බ්‍රිතාන්‍ය මණ්ඩලය එක්ව දිවයිනේ කලාකරුවන් පිරිසකට කොළඹදී දිවා භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.

මේ අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ අනුග්‍රාහකත්වය බ්‍රිතාන්‍යය විසින් දැරීම නිමිතිකොට අප්‍රේල් 7 දා පවත්වන ලද මහ කෑමට දිවයිනේ කලාකරුවන් පනස් දෙනකු කැඳවා තිබුනු බව මහකොමසාරිස් කාර්යාලය පවසයි.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් ඩව්රිස් සහ බ්‍රිතාන්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂිකා ගිල් කැල්ඩිකොට් විසින් සංවිධානය කරන ලද භෝජන සංග්‍රහයේ අරමුණ වී ඇත්තේ “ශ්‍රී ලංකාවේ කළා ප්‍රජාවේ සාමාජිකයන්ගේ පොදු රාජ්‍ය මණ්ඩල සම්බන්ධතා උත්කර්ෂයට නැංවීම” යි.

ඒ සඳහා මෝස්‌තර ශිල්පය, සංගීතය, සාහිත්‍යය, සාහිත්‍යය සහ සිනමා ක්ෂේත්‍ර නියෝජනය කරන බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද වැඩි දෙනකුගෙන් සමන්විත කලාකරුවන් ඇරියුම් ලබා ඇති බව මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පොදු රාජ්‍ය මණ්ඩල දිනය යෙදෙන මාර්තු 12 දායින් ඇරැඹී අප්‍රේල් 22 දක්වා ලොව පුරා පැවැත්වෙන මහ කෑම සංවිධානය කිරීම සඳහා අනුග්‍රහය ලබා දෙන බව එම වැඩ පිළිවෙලට මුල පිරූ ඊඩන් ව්‍යාපෘතිය දැනුම් දී තිබේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර සහ වින්ඩ්සර් පෞරාණික නගරයේ අප්‍රේල් 16 සිට 20 දක්වා  පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගිවීමට නියමිතය.

Related posts

Comments are closed.

Top