රට යවන හමුදා නිලධාරීන් යුද අපරාධ නොකළ බවට සහතිකයක් අනිවාර්යයි | VIDEO

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ පූර්ව පරීක්ෂාවට ලක් නොකර එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා භට කණ්ඩායමක් විදේශගත කිරීමෙන් එකඟතා කඩකළ බවට චෝදනා ලැබීමෙන් අනතුරුව ඒ කටයුතු සම්බන්ධීකරණය සඳහා යුද හමුදාව විසින් අලුතින් ඒකකයක් පිහිටුවා තිබේ.

මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම සම්බන්ධයෙන් කරුණු දක්වමින්  ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළේ සාමසාධනයට යන සෑම අයකුම  ‘අවිවාදයෙන්ම’  මානව හිමිකම් කොමිසමේ නිෂ්කාශන ක්‍රියාවලියට යටත් විය යුතු බවයි.

පූර්ව පරීක්ෂාවකින් අනතුරුව මානව හිමිකම් කොමිසම විසින් ලබා දෙන නිෂ්කාශන සහතිකයකින් තොරව ලෙබනනයේ 12 වැනි සාම සාධක ආරක්ෂක කණ්ඩායම සඳහා පෙබරවාරියේ 49 දෙනකුගෙන් සමන්විත භට කණ්ඩායමක් යැවීම මගින් එකඟතා කඩ කොට ඇති බවට කොමිසමේ සභාපතිනිය දෙසතියකට ඉහතදී ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබුනි.

“මේ රටින් යන සෑම නිලධාරියෙක්ම, සෙබළෙක්ම අවිවාදයෙන්ම ආරක්ෂක සහතිකයක් ලබා ගත යුතුයි,” යයි හමුදාපති මහේෂ් සේනානායක විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විවෘත කිරීමෙන් අනතුරුව කොල්ලුපිටියේ ‘සාම මැදුර’ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.

යුද හමුදාවේ “කළු බැටළුවන්”

විදේශගත වන නිලධාරීන් සහ සොල්දාදුවන් යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝන හෝ සිදු කොට නැති බව සහතික කරගැනීම එහි අරමුණ බව පැහැදිලි කර දුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ යුද හමුදාව තුල “කළු බැටළුවන් ඉන්නට පුළුවන්” බවයි.

ලෙබනන් ගිය භට කණ්ඩායමේ අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කර්නල් රත්නප්පුලි වසන්ත කුමාර හේවගේ නිසි පූර්ව පරීක්ෂාවකින් තොරව පත් කරන ලද බව හෙළිවීමෙන් අනතුරුව එක්සත් ජාතීන් විසින්  “නැවත විමර්ශනයක් කරන තුරු” ඔහුගේ ලෙබනන් යාම  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අත් හිටුවන ලදී.

ලුතිනන් කර්නල් හේවගේට විදේශගත වීම සඳහා ඔහුට කවදා අවසර ලැබේ දැයි මාධ්‍යවේදියකු විසින් විමසන ලදුව හමුදාපතිවරයා ප්‍රකාශ කළේ  නිෂ්කාශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර හමාර කරන තුරු දින නියමයක් කළ නොහැකි බවයි.

“ඒ සඳහා අවශ්‍ය නිශ්චිත කොන්දේසි සහ යොදන වදන් මාලාව ගැන සාකච්ඡා කරමින් ඉන්නවා,” යි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසා සිටියේය.

යුද හමුදා පතිවරයා එසේ කියා සිටියත් අඩුම වශයෙන් දෙවසරකට ආසන්න කාලයක පටන් ශ්‍රී ලංකා යුද හමුදාව  නිෂ්කාශන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත්ව හිඳ තිබේ.

නිෂ්කාශනය ගැන මතබේද

මාධ්‍යවේදීන්ට හමුදාපතිවරයා කියා සිටියේ යුද හමුදාවට නිෂ්කාශන ක්‍රියාවලිය ගැන දැනුම් දී ඇත්තේ පසුගිය දෙසැම්බරයේදී බවයි. එයින් පසුව පවා මානව හිමිකම් කොමිසමේ අවසරය නොගෙන භට කණ්ඩායමක් ලෙබනන් බලා යැව්වේ ඇයිදැයි ඔහු පැහැදිලි කළේ නැත.

කෙසේ වෙතත්, කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ජනාධිපතිවරයාට ලිඛිතව කරුනු දක්වා සිටි පරිදි නිෂ්කාශන ක්‍රියාවලියට යුද හමුදාව සමග මුලින්ම එකඟතාවක් ඇතිකරගෙන තිබෙන්නේ 2016 ජූනි මාසයේය. අතරමග ඇනහිටී දේශීය සුපරීක්ෂණ ක්‍රියාවලිය නැවත ආරම්භ වී ඇත්තේ එයින් අවුරුද්දකට පසුය.

අනාගත සාම සාධක රාජකාරි සඳහා යන සාමාජික සාමාජිකාවන්  “පනවා ඇති නීති උල්ලංඝණය කර ඇති නැති බව පිළිබඳ සහතික කරනු” පිණිස පරීක්ෂා කිරීමේ ජාතික  ක්‍රමවේදයකට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් සමග එකඟ වී තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් මාර්තු 29 දා නිකුත් කළ නිවේදනයක දක්වා තිබුනි.

එක්සත් ජාතීන්ගේ සාමසාධනයට යවන ලද සිය නිලධාරීන් සහ භටයන් ළමා අපයෝජනය ඇතුළු  ලිංගික අපරාධ කළ  බවට දශකයකට වැඩි කාලයක් තිස්සේ  නැගුනු චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව එම ලිපියෙන් ප්‍රසිද්ධියේ වරද පිළිගෙන තිබිනි.

“මානව හිමිකම් කොමිසම් සභාවේ නිෂ්කාශන ක්‍රියාවලියකින් තොරව කිසිදු හමුදා නිලධාරියකු එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා යැවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රත්‍යක්ෂව,” යුද හමුදාව දැන සිටි බව ආචාර්ය දීපිකා උඩගම ජනාධිපතිවරයාට ලියූ ලිපියේ සඳහන් වේ.

ඩයස්පෝරා සහ මානව හිමිකම් සංවිධාන

සාම සාධක රාජකාරි සඳහා යන භටයන්ගේ යෝග්‍යතාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට “සාවද්‍ය තොරතුරු” සපයන බවට විදේශගත දෙමළ සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන යුද හමුදාපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

ඔහු විසින් ඒවා හඳුන්වන ලද්දේ “රට ගැන නොදන්නා, යුද්ධය ගැන නොදන්නා” සංවිධාන ලෙසයි.

ලුතිනන් කර්නල් වසන්ත හේවගේ සාමසාධක රාජකාරියේ යෙදැවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අත් හිටුවන ලද්දේ ඔහු යුද අපරාධ චෝදනා ලබන ප්‍රහාර දියත් කළ බලසේනා වල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි අයකු බව හෙළිකරමින් මානව හිමිකම් සහ දෙමළ සංවිධාන විසින් සාමසාධක මෙහෙයුම් ප්‍රධානී ජෝන් පියේ ලක්රුවා වෙත ලියන ලද ලිපියකින් අනතුරුවයි.

දස දහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන්ට මරු කැඳවූ එම යුද්ධය “ලෝකයේ ලොකුම මානුෂික මෙහෙයුම” ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා එම ප්‍රහාරයේ පළපුරුද්ද සහිත භට පිරිස් විදේශීය ගැටුම් සඳහා සහභාගි කරවීමට අලුතින් පිහිටුවන ලද  විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය සතු හැකියාව සම්බන්ධයෙන්ද අපේක්ෂා සහගතව කතා කළේය.

“සාම රාජකාරි පමණක් නොව වෙනත් රටවල තිබෙන ක්‍රියාන්විත තත්ත්ව වලදී, අප ඒ රටවල් වලට ගොස් මුදවා ගැනීමේ කටයුතු වලට වුනත් සහභාගි වන්නට පුළුවන්.”

යුද අපරාධ වලට “ජනේලයෙන් පැනීම”

ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා වලට එරෙහිව යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනා වලට මුහුණ දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය ‘ප්‍රශ්නයක්’ ලෙස හැඳින්වූ හමුදාපතිවරයා කියා සිටියේ රජයේ ක්‍රියා පිළිවෙතට වෙනස් මාර්ගයක් අනුගමනය කොට ගැලවීමට මග පාදා ගන්නා බවයි.

“ඔක්කොම උත්සාහ කරන්නේ එකම දොරෙන් එලියට යන්න, එතනයි ප්‍රශ්නේ තියෙන්නේ,” යි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේය.

“ඊට වඩා වෙනත් ජනෙල් තියෙනවා එලියට යන්න. මම උත්සාහ කරන්නේ ඒ ජනේලෙකින් එලියට ගිහිල්ලා ඒ දොර පිටිපස්සේ හිටගන්න.”

දේශීය යාන්ත්‍රණයකින් “රට තුලම ප්‍රශ්න විසඳා ගත හැකි,” බවට විශ්වාසය පලකළ යුද හමුදාපතිවරයා ආණ්ඩුව සේම විදේශීය  යාන්ත්‍රණයක් කෙරේ පල කළේ විරෝධයකි.

Related posts

Comments are closed.

Top