මෙතෙක් කල් ගතකළේ ලෝකයේ හොඳ හිත දිනාගැනීමට: ජනපති ලන්ඩනයේදී | VIDEO

බලයට පත්වීමෙන් පසු මෙතෙක් ගතවූ කාලය වසර තුනකට අධික කාලය කැපවූයේ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට තුති පිදීමට නොව ලෝකයේ හොඳ හිත දිනාගැනීමට යයි ජනාධිපතිවරයා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලුවට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තෝරාගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතා කියා සිටියේ අද එම උත්සාහය පලදරා ඇති බවයි.

විද්වතුන්, ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් රාජකීය ලැන්කස්ටර් හෝටලයේ පැවති මෙම හමුවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

“මට ජනාධිපති ධුරයට පත්වෙලා තිබුනේ මට ඡන්දේ දුන්න අය හොයලා ගම්වල යන්න, නගරවල යන්න ස්තුති කරන්න නෙවෙයි,” යනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

“2015–16 වර්ෂ කැපවුණේ සම්පුර්ණ වශයෙන් අපෙන් ඈත්වෙලා තිබුනු හොඳ හිත දිනාගැනීම. අද ලෝකයේ සෑම රටක්ම අපේ මිත්‍රයෙක්.”

රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නිවැරැදි තොරතුරු ජනතාව අතරට ගලා නොයන බව පැවසු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විවේචනයට ලක් කළේය.

පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට උත්සාහ දරන බවට මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය.

ඔහුගේ මතය අනුව වෙබ් අඩවි වල පලකෙරෙන දෙයින් සියයට 75ක්ම අසත්‍යය.

“සත්‍යය බොහෝ වෙලාවට යටපත් වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුල ගලා යාම තමයි මම නම් දකින්නේ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

මෙම ආණ්ඩුවේ පාලන සාමය තුල වෙබ් අඩවි කිහිපයක්ම වාරණයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාව තුළ සියලු ජාතීන් අතර සමගිය ගොඩනැගීම සඳහා කටයතු කරන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top