සවුදියේදී මරාදමන ලද මාතාවගේ වන්දි කඩිනම් කරන ලෙස ඉල්ලීම් | VIDEO

 

මැද පෙරදිග ගෘහ සේවයට ගොස් සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද තිදරු මව වෙනුවෙන් ලබාගත හැකි උපරිම වන්දිය ලබාගැනීමට මැදිහත් වන ලෙස ඇගේ ඥාතීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගාල්ලේ, වඳුරඹ, කටඹුරාවේ සිට සවුදි අරාබියට ගිය 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර ගේ මළ සිරුර නිවසට ගෙන ආ අවස්ථාවේ ඇගේ සොහොයුරා සහ වැඩිමහල් දියණිය මාධ්‍යවේදීන්ට කියා සිටියේ අනාගතයේ දුෂ්කරතා මගහැර දිවි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම අවශ්‍යතාවක්ව පවතින බවයි.

තිදරු මාතාවගේ මරණය සිදුවී ඇත්තේ වෙඩි තැබීමකින් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය එම් එස් රුහුල් හක් විසින් නිගමනය කර තිබුනි.

ඇගේ වම් බාහුව හරහා ඇතුල්වූ උණ්ඩයෙන් පපුවේ පෙනහල්ලට සහ කොඳු ඇටයට මරණීය තුවාල සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වේ.

වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන තිස් හැවිරිදි සවුදි ජාතිකයකු එම තුවක්කුවෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් ප්‍රකාශක බදාර් අස්සහබානි ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුනි.

සැකකාර තැනැත්තා මානසික දුර්වලතාවකින් පීඩා විඳින අයකු යයි මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි ඔහු වැඩි දුරටත් කියා තිබේ.

මරා දමන ලද කාන්තාවගේ ඥාතීන් ප්‍රකාශ කරන පරිදි ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳි තිදරු මාතාව විදේශ සේවය සඳහා 2017 දී පිටව ගොස් ඇත්තේ සිව් වැනි වතාවටය.

හදවත් රෝගයකින් පීඩා විඳින  ඇගේ එක දරුවකුගේ ප්‍රතිකාර සඳහා මුදල් උපයාගැනීම ප්‍රියංකා ජයසේකරගේ මෙවර ගමනේ අරමුණ වී තිබුනු බව ඥාතීහු මාධ්‍යවේදීන්ට පවසා සිටියහ.

Related posts

Comments are closed.

Top