යුද්ධයේදී 8000 ක් මැරුනු බව කී බ්‍රිතාන්‍ය සාමි හා ජනපති අතර හමුවක් | VIDEO

යුද්ධයේ අවසාන භාගයේදී එක්සත් ජාතීන් ගේ ගණන් බැලීම් වලට අඩුවෙන් දහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන් පිරිසක් මරා දමා ඇති බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දැනුම් දුන් සාමිවරයකු “ශ්‍රී ලංකාවේ හිතවතකු” ලෙසින් ජනාධිපතිවරයාගේ ප්‍රශංසාව හිමිවී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩනයට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කොන්සර්වේටිව් පාක්ෂික නේස්බි සාමි හෙවත් මයිකල් මොරිස් හමුවීම සම්බන්ධයෙන් සතුට පළකර තිබුණි.

ඡන්දයෙන් තේරී පත් නොවූ පාර්ලිමේන්තු සභික මයිකල් මොරිස් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් හඳුන්වා තිබුනේ “ශ්‍රී ලංකාවට ඉතාමත් හිතවත් අයුරින් කටයුතු කරන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු සභික බාරෝන් නේස්බි” ලෙසිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව සම්බන්ධයෙන් සම්මත කරගෙන ඇති යෝජනාවට අදාලව අත් කරගෙන ප්‍රගතිය පිළිබඳව විවාදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමේ සභාපති නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පසුගිය නොවැම්බරයේ  පවසා සිටියේ යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් ගේ සංඛ්‍යාව හත්දහසත් අට දහසත් අතර වන බවයි.

සාපේක්ෂව ශ්‍රී ලංකාව යහපත්

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධන සහ සංහිඳියා වැඩපිළිවෙල වෙනුවෙන් නෙස්බි සාමිවරයා ලබාදෙන පෞද්ගලික මැදිහත්වීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සංහිඳියා සහ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ද අගය කළ සාමිවරයා පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව ඉටුකරමින් සිටින කාර්ය භාරය ලොව අන් රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින බව ද කියා සිටියේය.

“එම වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි සහ ප්‍රමාණවත් තොරතුරු යුරෝපීය රටවලට සහ ජිනිවාවලට නිසි පරිදි නොලැබීම කනගාටුවට කරුණක් වන අතර, එම සත්‍ය තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට තම උපරිම සහාය ලබාදෙන බවට ද” නේස්බි සාමි  සහතික වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

“ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරකු වන නේස්බි සාමිවරයා නැවත මුණගැසීම මහත් සතුටට හේතුවකි,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට්විටර් පණිවුඩයක් පල කර තිබුනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධයේදී අඩුම වශයෙන් හතලිස් දහසක් මරා දමන ලද බවට දැක්වෙන තොරතුරු සංශෝධනය කිරීමට නේස්බි සාමිවරයාගේ සංඛ්‍යාලේඛන යොදා ගන්නා මෙන් ආණ්ඩුවට සිංහල ජාතිකවාදී කණ්ඩායම් බලපෑම් කරමින් සිටී.

වෙළෙඳ සබඳතා

මේ අතර ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට සහාය දැක්වූ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය වරයා හමුවීමටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගොස් තිබේ.

අද ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත්‍රයේ ද සුවිශේෂී ප්‍රගතියක් සිදුව තිබෙන බව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළ ද අන්තර්ගත කිරීමට කටයුතු කිරීමට අමාත්‍ය ලියම් ෆොක්ස් සහතික වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා මැදිහත් වෙමින් බ්‍රිතාන්‍ය අමාත්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවලට ලියම් ෆොක්ස් ට මුහුන දීමට සිදුවී තිබුනි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් කලින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි බ්‍රිතාන්‍ය අගමැතිනිය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර හමුවක් නොපැවැත්වේ.

“බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිනිය පොදු රාජ්‍ය මණ්‌ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්‌ක හදිසියේම එම හමුව අවලංගු කළා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 17 අඟහරුවාදා ශ්‍රී ලාංකිකයන් සමග රාජකීය ලැන්කැස්ටර් හෝටලයේදී දැනුම් දී තිබුනි.

Related posts

Comments are closed.

Top