ජනපති පොදුරද මඬුලු සමුළුවට යද්දී ලන්ඩනයේ දෙමළ උද්ඝෝෂණ | VIDEO

ශ්‍රී  ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් පලවා හරින ලෙස ඉල්ලා දෙමළ ජනතාව ලන්ඩනයේ කළ උද්ඝෝෂණ මධ්‍යයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ජගත් නායකයන්ගේ සහභාගිත්වයෙන් 2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරිනි.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුනේ එලිසබත් රැජිනගේ නිල වාසභවනය වූ බකිංහැම් මාලිගය ට යාබද පෞරාණික ලැන්කැස්ටර් මන්දිරයේදීය.

ඒ අසලම වීදියේ විරෝධතාවක යෙදුනු සියගණනක් දෙමළ ජනතාව පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරගන්නා ලද ජිනීවා යෝජනාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන තුරු ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කර තබන ලෙසයි.

යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ, ලිංගික ප්‍රචණ්ඩතා සහ හමුදාව වාඩිලාගෙන සිටින දෙමළ ප්‍රදේශ වල දිගටම සිදු කෙරෙන වර්ග සංහාරක කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලබන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සමග අතට අත දීමෙන් පොදුරාජ්‍ය මණ්ඩලය සිය “විශ්වසනීයත්වය පලුදු කරගත්” බව උද්ඝෝශකයන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අංක 30/1 දරන ජිනීවා යෝජනාව පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට පොදුරාජ්‍යමණ්ඩලය ප්‍රමුඛ විදේශ රටවල විනිශ්චයකාරවරුන් ඇතුලත් අධිකරණයක් පත් කරන බවට ශ්‍රී ලංකාව එකඟ වී සිටී.

යෝජනාව සම්මත කරගෙන තුන්වසරක් ගතවී තිබියදීත් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියක් නැති බව පෙන්වා දෙන ලන්ඩනයේ විරෝධතාකරුවෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අමතර වශයෙන් සලසා දී ඇති දෑවුරුද්ද හමාර වන 2019 මාර්තු වන විට එය සම්පූර්ණ කිරීමට ආණ්ඩුවට ඇති හැකියාව පිළිබඳව සැක පහල කරයි.

Related posts

Comments are closed.

Top