දෙමළ බලාපොරොත්තු ඉටුවී නැතැයි මහින්ද රාජපක්ෂ කියයි | VIDEO

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොදුරාජ්‍ය මණ්ඩල විධායක සභා රැස්වීමට සහභාගි වීමට යන අවස්ථාවේ ලන්ඩනයේදී දෙමළ ජනතාව විරෝධතාවක යෙදුනේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

“බලාපොරොත්තු කඩ වුනාම ඒ මිනිස්සු විරුද්ධ වෙනවා,” යි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නුවරඑළියේ විවේකයක් ගතකොට ආපසු එන ගමනේදී දළදාව වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි මහනාහිමි දෙපල බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා කතාකළ හිටපු ජනාධිපති වරයා ලන්ඩන් දෙමළ විරෝධතාව හෙලා දුටුවේය.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂ නායක ආර් සම්බන්ධන් පෙනී නොසිටින බව ප්‍රකාශ කළ ඔහු වවුනියාවේ නගර සභාවේ දෙමළ ජාතික සන්ධානය පරාජය වීමෙන් එම පක්ෂය කෙරේ ඇති විශ්වාසය බිඳ වැටී ඇති ආකාරය පෙනී යන බව කියා සිටියේය.

වව්නියාව නගර සභාවේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී ආනන්දසංගරී ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණයි.

“දෙමළ ජනතාවගේ විශ්වාසය නැතිවෙන කොට අපි ඕකට දඟලන්න ඕනෙද,” යනුවෙන් පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුවට විරුද්ධව තව දුරටත් විශ්වාස භංග යෝජනා ගෙන ඒමට තමන් අපේක්ෂා නොකරන බවයි.

Related posts

Comments are closed.

Top