ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම ජනපති ලෝක නායකයන්ට පහදයි

සාගර සම්පත තිරසාර ලෙස යොදාගැනීමට යොමු කරන ජගත් රාජ්‍ය නායකයන් හමුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්  අවධාරණය කර ඇත්තේ භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමේ උපායමාර්ගික වැදගත්කමයි.

එම පිහිටීම ප්‍රාග්ධන උත්පාදනය සඳහා වාසි සහගත ලෙස යොදා ගැනීමේ අපේක්ෂාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පල කරන ලද්දේ  පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ලන්ඩනයේ ලැන්කැස්ටර් මන්දිරයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව අමතමිනි.

“නැගෙනහිර – බටහිර කාර්යබහුල නාවික මාර්ගය පිහිටා ඇත්තේ අප දිවයිනට දකුණු දෙසින් නාවික සැතපුම් 10ක් ආසන්නයේය,” යි ජනාධිපතිවරයා සභාව හමුවේ කියා සිටියේය.

“සෑම වසරකම 60,000කට වැඩි සංඛ්‍යාවක් නැව් මෙම මාර්ගය භාවිතා කරන අතර එමඟින් ලෝක තෙල්වලින් තුනෙන් දෙකක් සහ බහලුම් සංඛ්‍යාවෙන් අඩක් ප‍්‍රවාහනය කරනු ලැබේ.
ලෝකයේ මතුවෙමින් පවතින ආර්ථික බලවේගයක් බවට ආසියාව පත්වන බව රහසක් නොවේ. ආසියා කලාපය මෙලෙස ආර්ථික උත්පාතයක් ලද අවධියක ශී‍්‍ර ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රිය පිහිටීම උපයෝගී කරගෙන ප‍්‍රාග්ධන උත්පාදන උදෙසා අනිවාර්ය සැලකිල්ලක් දැක්වීම පුදුම විය යුතු කරුණක් නොවේ.”

බ්‍රිතාන්‍යයේ යටත් විජිත ලෙස පැවති රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වූ විධායක සභාවේ දී “පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප‍්‍රඥප්තිය” සම්මත කර ගෙන තිබේ.

තිරසර සාමුද්‍රීය සංවර්ධන කටයුතු සඳහා වන ප්‍රතිපත්ති මාලාවක් එම ප්‍රඥප්තියට අඩංගුවේ.

සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප‍්‍රයත්නයන් තුළින් සුරක්ෂිත කර ගැනීම අරමුණු කොටගෙන “පොදු රාජ්‍ය මණ්ඩලීය නීල-ප‍්‍රඥප්තිය” සතුටින් පිළිගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

Comments are closed.

Top