ජනාධිපතිගේ පිහිටෙන් ජාතිවාදී ප්‍රහාරයකට සැරසෙන බවට අනතුරු ඇඟවීමක් | VIDEO

වර්තමාන ජනාධිපතිවරයාගේ සහාය ලබාගෙන සිංහල රාජ්‍ය බලයක් පිහිටුවීමේ ජාතිවාදී ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් පිළිබඳව යහපාලන රජය පිහිටුවීම සඳහා මුල්වූ වාමාංශික නායකයකු අනතුරු අඟවා සිටී.

ජනාධිපති බලතල කප්පාදු කොට පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විරෝධයක් මහින්ද රාජපක්ෂවාදී කඳවුරින් මතුවන්නේ එම ජාතිවාදී ප්‍රහාරය සඳහා බව නවසමසමාජ පක්ෂ නායකයා පවසයි.

“ඒගොල්ලෝ මේ ජනාධිපතිගේ බලයේ එල්ලිලා තමයි මාරාන්තික ජාතිවාදී සටනක් කරන්න බලාපොරොත්තු වෙන්නේ,” යි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමිනි.

ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උදව්වෙන් අගමැති පලවාහැර, සමාජය තුල ජාතිවාදී කෝලාහලයක් ඇතිකොට තුනෙන් දෙකේ බලයක් සහිත සිංහල නායකයකු පත් කිරීම එම සැලසුම බවයි.

“ගෝඨාභය ජනාධිපති කරන්න යනවා කියලා පෙන්නලා ජාතිවාදී පෙළගැස්මක් රටතුල ඇතිකරගැනීමට ඔවුන්ට උවමනාව තියෙනවා. ඒක කරගෙන යන්න ඒගොල්ලෝ යටින් වැඩ පිළිවෙලක් ගෙනියන බව පැහැදිලියි.”

එම වැඩපිළිවෙලට එරෙහිව බහුතර සහාය ලබමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පෙනී සිටීම නිසා “ජනාධිපතිතුමා මහින්දත් එක්ක කරන හොර ගිවිසුම් වලට” බාධා පැමිණ ඇති බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් පැවසීය.

Related posts

Comments are closed.

Top