සිංහල නිලධාරීන්ගෙන් STF ගැන එක්සත් ජාතීන්ට තොරතුරු

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් සිදු කරන ලද බවට චෝදනා කෙරෙන සුදුවෑන් පැහැර ගැනීම්, නඩු නැති ඝාතන සහ ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු සාපරාධී ක්‍රියා ගැන තොරතුරු හෙළිකරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් හිටපු නිලධාරීන් ලබාදුන් චූදිතයන්ගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතීන්ට භාර දීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව සකස් කළ මණ්ඩලයේ සාමාජිකා යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සිය නවතම වාර්තාව ලන්ඩනයේදී එලි දක්වමින් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි වල යෙදීම තහනම් කළ යුතු ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) පනස් දෙනකුට වැඩි පිරිසකගේ රහස්‍ය නාම ලේඛනයක් ඔවුන් සතුව තිබෙන බවයි.

කලින් STF හි සේවය කළ සිංහල නිලධාරීන් සහ ඔවුන් සමග කටයුතු කළ දෙමළ අතුරු හමුදා කල්ලි සාමාජිකයන් ගේ ප්‍රකාශ මත මූලික වශයෙන් පදනම් වෙමින් “ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය සාධක බලකාය” නම් එම වාර්තාව සකස් කොට තිබේ.

වාර්තාව සඳහා තොරතුරු ලබා ගැනීමේදී හෙළිදරව් කරගන්නා ලද නම් ලැයිස්තුව භාරදෙනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සාමසාධක දෙපාර්තමේන්තුව (DPKO) සහ ජිනීවාහි මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) වෙතය.

කෙසේවෙතත්, සාමසාධක මෙහෙයුම් සඳහා තෝරා ගන්නා ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල නිලධාරීන් සහ සෙබළුන් පරීක්ෂා කිරීමේ වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිසියාකාර ඉටු කර නැති බවට ITJP චෝදනා කරයි.

“අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමක රාජකාරියේ නිරත වී සිටින ලෙසට දැක්වෙන එක් STF නිලධාරියෙක් 2006-7 සමයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ පුද්ගලයන් ඝාතනය කළ බවට චෝදනා ලබා සිටී,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය. “මෙයින් පැහැදිලිවම පෙනී යන්නේ සාමසාධනය සඳහා ශ්‍රී ලාංකිකයන් පූර්ව පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධ වගකීම ඉටුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් අසමත්ව සිටින බවයි.”

“ත්‍රාසජනක චිත්‍රපටියක්”

තවමත් මානසික කම්පාවට ගොදුරු වී සිටින බව ITJP පවසන එක සිංහල පුද්ගලයෙක් කොළඹ සුදු වෑන් පැහැර ගැනීම් සිදුකළ කණ්ඩායමක තමන් කළ වැඩ කටයුතු හඳුන්වා දී ඇත්තේ “ත්‍රාසජනක චිත්‍රපටියක්” ලෙසටය.

යුද්ධයේ අවසාන සමයේ ක්‍රියාකාරීව සිටි තවත් ප්‍රශ්න කරන්නෙක් තමන්ට ගොදුරුවූ වින්දිතයන් ගැන කියා ඇත්තේ, “අපි උන්ගේ උගුරු දණ්ඩ කැපුවා, බෙල්ල මිරිකුවා, පිහියෙන් ඇන්නා නැතිනම් මැරෙන කල් ගැහුවා,” යනුවෙනි.

තමන්ගෙන් පීඩාවට පත් සැමදෙනාම අවසානයේ මරාදමන ලද බව ඔවුන් කියා තිබේ.

වෙනත් ආරක්ෂක හමුදා කණ්ඩායම් තවමත් සිදුකරන පැහැරගැනීම්, වධබන්ධන සහ ලිංගික හිංසන ගැන ලේඛනගත කොට ඇතත්, STF පැහැරගැනීම් කල්ලි වර්තමාන රජය යටතේ මේ වනවිට  ක්‍රියාත්මක වන බවක් දැනගන්නට නැතැයි ITJP පවසයි.

කෙසේවෙතත්, අතීතයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වල භටයන් සහ නිලධාරීන් අවදානම්කාරී තත්වයක සිටින ජනතාව සිටින රටවලට යැවීම පිළිබඳව එම සංවිධානය අනතුරු අඟවා සිටී.

පරීක්ෂාවට “ITJP සහාය”

ලෙබනනයේ සාම සාධනය සඳහා යැවීමට සුදානම් කර තිබූ සේනාංකයක් සහ එහි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වසන්ත හේවගේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරියේ නවත්වා ලනු ලැබුවේ ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබඳව පරීක්ෂා කර නැති බවට මානව හිමිකම් සංවිධාන සහ විදේශගත දෙමළ සංවිධාන දැනුවත් කිරීමෙන් අනතුරුවය.

ඉන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා තිබුනේ එම බල ඇණියේ සෙබළුන් 49 කගෙන් යුත් පළමු භට කණ්ඩායම තමන්ට නොදන්වා ලෙබනන් බලා පිටත් කර හැර යැවීම මගින් පූර්ව පරීක්ෂාවක් සහිත නිශ්කාෂණ  ක්‍රියාවලියකට යටත් කිරීම පිලිබඳ එකඟතාව යුද හමුදාව විසින් කඩ කොට ඇති බවයි.

“දැන් පොලිස් කොමාන්ඩෝ භටයන් එජා සාමසාධක භටයන් ලෙසින් විදේශ වලට යවනු ලබන අතර ඔවුන්ද යුද හමුදාව සේම දැඩි පුර්ව පරීක්ෂාවකට යටත් කළ යුතුය,” යි යි ITJP විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා පවසයි.

“සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැලසීමේ කොන්දේසියට යටත්ව, මේ ක්‍රියාදාමයට සහාය දීමට අපි කැමැත්තෙන් සිටිමු. වින්දිතයන්ගේ ප්‍රකාශ පමණක් නොවේ, අභ්‍යන්තර සාක්ෂිකරුවන් ලබාදුන් තොරතුරු, ඡායාරූප සහ නම් ද ඇතුලත් විශාල දත්ත ගබඩාවක් ඇති එකම කණ්ඩායම අපය,” යි ඇය වැඩිදුරටත් කියා සිටී.

සාමසාධනයට යන සෑම අයකුම මානව හිමිකම් කොමිසමේ නිශ්කාෂණ  ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම දායක වීම සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය (DOO) නමින් අලුතින් ඒකකයක් පිහිටුවා තිබේ.

Related posts

Comments are closed.

Top