චූදිත STF 56 ට මොකද කළේ? දෙමළ ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගෙන් අසයි

සාමසාධක මෙහෙයුම් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සෙබළුන් පිරිසක මානව හිමිකම් චර්යාව විමර්ශනය නොකිරීම ගැන දෙමළ ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පවරා තිබේ.

ශ්‍රී ලංකාවේදී බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබන පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සාමාජිකයන් 56 දෙනකුගේ රහස්‍ය නාම ලේඛනයක් මානව හිමිකම් සංවිධානයක් විසින් එක්සත් ජාතීන්ගේ සාමසාධක දෙපාර්තමේන්තුව (DPKO) ට භාරදීමෙන් සතියක් ගතවීමත් සමග එම විමසීම කර ඇත්තේ බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ඇමරිකාව පදනම් කරගත් දෙමළ සංවිධාන කිහිපයක් විසිනි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්පාදනය කළ මණ්ඩලයේ සාමාජිකා යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් සකස් කරන ලද වාර්තාවක් සමග භාරදී ඇති නම් ලැයිස්තුවේ ඉන්නා පුද්ගලයන් ගැන කවර පියවර ගන්නේදැයි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන දෙමළ සංවිධාන, STF මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ අඳුරු චිත්‍රයකි.

දණ්ඩමුක්තිය

“දෙමළ ජනතාවට එරෙහිව නඩු නැති ඝාතන, පැහැරගැනීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ඇතුළු අපරාධ සිදුකළ බවට ඔවුන්ට නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් මේතාක් කිසිදු වගවීමක් සිදුවී නැතැ,” යි DPKO ප්‍රධානී ජෝන් පියේ ලක්රුවා වෙත ලියා ඇති ලිපියේ දැක්වේ.

“මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන මේ අවුරුද්දේ සිදුකළ ප්‍රචණ්ඩතා වලට පවා STF සම්බන්ධ බවට චෝදනා නැගී තිබේ. එසේ වී ඇත්තේ ඔවුන් පූර්ණ දණ්ඩමුක්තියක් භුක්ති විඳින නිසාය. ප්‍රසාද දීමනාවක් වශයෙන් ඔවුන් සාමසාධනයට බඳවාගැනීම කණගාටුදායකය.”

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මානව විරෝධී අපරාධ කළ බවට චෝදනා ලබන අප්‍රිකාවේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ STF නිලධාරියකුගේ නමද එක්සත් ජාතීන්ට ITJP විසින් දෙන ලද තොරතුරු වල ඇතුලත් කර තිබුනි.

ඔහු වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලා සිටින දෙමළ සංවිධාන මීට ඉහතදීද චුදිත නිලධාරීන් සාම සාධනයේ යොදවා තිබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරදක් ලෙස පෙන්වා දී ඇත.

“මෙයින් පෙනී යන්නේ පූර්ව පරීක්ෂාව සම්බන්ධයෙන් දිගින් දිගටම දක්වා තිබෙන නොසැලකිල්ලයි.”

විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අනාගතයේ භට කණ්ඩායම් විදේශගත කිරීමට පළමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පූර්ව පරීක්ෂාව සඳහා සම්බන්ධීකරණයට පිහිටුවා ඇති අලුත්ම ඒකකයද ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.

මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ පිහිටුවන ලද විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ (DOO) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මානව හිමිකම් චර්යාව පරීක්ෂා කර ඇතිදැයි දෙමළ ඩයස්පෝරා සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විමසයි.

“මේ වැදගත් ආයතනයට නායකත්වය දෙන්නේ නිශ්කාෂණ ක්‍රියාවලියට යටත් නොකරන ලද පුද්ගලයන් නම් එය මහත් සරදමක් වන්නේයැ,” යි ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය (ATC), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF),කැනඩා දෙමළ කොන්ග්‍රසය (CTC), ලංකා දෙමළ සංගමය (ITS-USA), ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය සහ සහන සඳහා වන ජනතාව (PEARL) සහ එක්සත් ජනපද දෙමළ දේශපාලන ක්‍රියාකාරී කමිටුව (USTPAC) යැවූ ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 49 දෙනකුගෙන් සමන්විත භට කණ්ඩායමක් නිසි පරීක්ෂාවකින් තොරව ලෙබනනයේ සාමසාධක මෙහෙයුම් සඳහා විදේශ ගත කිරීමට ඉඩ සැලසීම ගැන දෙමළ ඩයස්පෝරාව පසුගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පවරා තිබුනි.

මතබේදයට ලක්වී සිටින STF 56 සම්බන්ධයෙන් ගන්නා පියවර දැනුම් දෙන මෙන් ඩයස්පෝරා සංවිධාන මානව හිමිකම් කොමිසමට පිටපත් ද සහිතව මෙවර ලියන ලද ලිපියෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් භාර ජෝන් පියේ ලක්රුවා ගෙන් ඉල්ලා තිබේ.

 

Related posts

Comments are closed.

Top