රට ගිය චූදිත ශ්‍රී ලංකා සාමසාධක භටයන් ගැන එජා විමර්ශනයක්

පුර්ව සෝදිසියකින් තොරව සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකාවෙන් විදේශ වලට යවා ඇති සෙබළුන් පිරිසක්  සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සාම සාධනය සඳහා යොදවා සිටින පුද්ගල ඝාතන ඇතුළු බරපතල අපරාධ කළ බවට චෝදනා ලබන පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සාමාජිකයන් 56 දෙනකුගේ රහස්‍ය නාම ලේඛනයක් මානව හිමිකම් සංවිධානයක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ඇමරිකාව පදනම් කරගත් දෙමළ සංවිධාන කිහිපයක් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් බල කොට තිබුනි.

ඊට ඉහතදී ද ශ්‍රී ලංකා යුද හමුදාවේ 49 දෙනකුගෙන් සමන්විත භට කණ්ඩායමක් නිසි පරීක්ෂාවකින් තොරව ලෙබනනයේ සාමසාධක මෙහෙයුම් සඳහා විදේශ ගත කිරීමට ඉඩ සැලසීම ගැන දෙමළ ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පවරා තිබුනි.

ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් වරියක් නිව් යෝර්ක් නුවර පැවති මාධ්‍ය හමුවකදී ඉනර් සිටි ප්‍රෙස් ගවේෂණාත්මක මාධ්‍යවේදී මැතිව් ලී රසල් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියාය.

“අපට එවා ඇති ලිපි මගින් සපයා තිබෙන කරුනු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව කටයතු කරමින් යනවා. ඒ ගැන අපි ඉදිරි කාලයේ පිළිතුරක් ලබා දෙනවා,” යි  එක්සත් ජාතීන්ගේ සාමසාධක දෙපාර්තමේන්තුවේ (DPKO) බින්ටු කීටා  ප්‍රකාශ කළාය.

මේ අතර මේ වසරේ ගතවූ මුල් මාස තුනේදී පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි හවුල්කාර සංවිධාන වල  කාර්යමණ්ඩලයට එරෙහිව ලිංගික අපචාර චෝදනා පනහකට වැඩි ගණනක් ලැබී ඇති බව මේ සතියේ හෙළිවිය.

මේ අතරින් චෝදනා දෙකක් විමර්ශනයකින් තහවුරු වී ඇති අතර තවත් දෙකක් තහවුරු වී නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ෆර්හාන් හක් සහ බින්ටු කීටා

බාල වයස්කාරියන් 

“මේ චෝදනා 54න් 14 ක් වාර්තා වන්නේ දැනට පවත්වාගෙන යන සාමසාධක මෙහෙයුම් වලින්,” යයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් අමතා දැනුම් දුන්නේය.

“18 ක් ඒජන්සි, පදනම් සහ ව්‍යාපෘති වලින්. චෝදනා 21 ක් වැඩසටහන් ක්‍රියාත්මක කරන හවුල්කාර සංවිධාන සහ එකක් එකසත් ජාතීන්ගේ නොවන ජාත්‍යන්තර හමුදාවක් ගැනයි.”

පීඩාවට පත් අය අතරින් හතරෙන් පංගුවකට ආසන්න සංඛ්‍යාවක් බාල වයස්කාරියන් ය.

“චෝදනා 54න් 17 ක් ලිංගික අපයෝජන ලෙස වර්ගීකරණය කර තිබෙනවා. 34 ක් ලිංගික සුරා කෑම්. 3 ක් පැහැදිලි නැහැ. චෝදනා වලට වින්දිතයන් 66 ක් ඇතුලත් වෙනවා. ඒ අතර වයස අවුරුදු 18 ට අඩු ගෑනු ළමයි 13 දෙනෙක් සහ වයස නොදන්නා 16 ක් ඉන්නවා.”

අපචාර වැලැක්වීම සහ ගැටලුවට මුහුණ දීම සඳහා එජා මහලේකම් ගෙන ඇති පියවර දෙකක් වන්නේ පීඩිතයන්ගේ අයිතිවාසිකම් සඳහා නියෝජිතවරියක් පත් කිරීම සහ අපරාධකරුවන්ට එරෙහිව පියවර ගැනීම සඳහා රාජ්‍ය නායකයන්ගෙන් සමන්විත නායකත්ව කවයක් පිහිටුවීමය.

පීඩිතයන්ගේ අයිතිවාසිකම් සඳහා මහලේකම් අන්තෝනියෝ ගතරෙස් විසින් පසුගිය අගෝස්තුවේ පත් කරන ලද පළමු නියෝජිතවරිය ඕස්ට්‍රේලියාවේ ජේන් කොනර්ස් ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ලිංගික සුරාකෑම් සහ අපහරණ සම්බන්ධයෙන් පියවර ගැනීමට 2017 ඔක්තෝබරයේ පිහිටුවන ලද නායකත්ව කවයේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද සාමාජිකයෙකි.

Related posts

Comments are closed.

Top