ලාංකික පෙම්වතියට “වහලිය කියමින් බැට දුන්” නිව්යෝර්ක් නීතිපති ගෙදර

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇතුළු හතර දෙනකුට ලිංගික හිංසන කළ බවට හෙළිදරව් වීමෙන් අනතුරුව නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඉහළම නීති නිලධාරියාට රැකියාව හැරයන්නට සිදුවී තිබේ.

ටානියා සෙල්වරත්නම් ඇතුළු කාන්තාවන් විසින් නගන ලද චෝදනා ජනමාධ්‍යයේ පළවීමෙන් පැය තුනක් ගතවත්ම නිව්යෝර්ක් නීතිපති එරික් ශ්නයිඩර්මාන් 8 අඟහරුවාදා ඉල්ලා අස්විය.

හිටපු නීතිපති සමග පෙම් සබඳතා පැවැත්වූ ඇය ඇතුළු කාන්තාවන් උපුටා දක්වන “ද නිව්යෝකර්” පවසන්නේ  ශ්නයිඩර්මාන් බොහෝ අවස්ථා වලදී බීමත්ව පහර දුන් බවයි.

“දුඹුරු වහලී” යනුවෙන් තමන් ඇමතූ හැට තුන් හැවිරිදි හිටපු නීතිපති, ඔහුට “මහත්තයා” යැයි පවසන තුරු කන්සට පහර ගැසූ බව නීතිවේදිනියක් සහ මානව හිමිකම් ක්‍රියාධාරිනියක් වන ටානියා සෙල්වරත්නම් ප්‍රකාශ කර තිබේ.

ඇය පවසන පරිදි, වසරක කාලයක් හිටපු නීතිපති හා ගතකළ කාලය “භයංකර සිහිනයක් බවට හැරුනු සුරංගනා කතාවක්” වූ බවයි.

හැර ගියොත් මරා දමන බවට ඔහු තර්ජනය කළ බවද ටානියා සෙල්වරත්නම් වැඩිදුරටත් පවසා ඇත.

ඇයට පෙර එරික් ශ්නයිඩර්මාන් සමග සබඳතා පැවැත්වූ මිචෙල් මැනින් බැරිෂ් ද ඔහු කළ හිංසන මාධ්‍යයට විස්තර කර තිබේ.

එම අපහරණ පිළිබඳ තොරතුරු සවිස්තර ලෙසින් ලේඛන ගතකළ මැනින් බ්‍රිටිෂ් හිටපු නීතිපතිවරයාට බියෙන් ඒවා සුරැකි තැන්පතුවක බහා යතුරු මිතුරන් දෙදෙනකුට දී ඇත.

ඇය තමන් විඳි අඩන්තේට්ටම් හෙළිදරව් කරන්නට තීරණය කර ඇත්තේ ටානියා සෙල්වරත්නම් මුණගැසීමෙන්  පසුවයි.

තවත් අයකුට නොවන්නට

“මට කවුරු හරි කලින් අනතුරු අඟවා තිබුනා නම් හොඳයි. මම කල්පනා කරන්නේ ඊළඟට කවුද කියලයි,” යනුවෙන් ටානියා සෙල්වරත්නම් පවසන්නීය.

“තවත් කාන්තාවක් මේ තත්වයට මුහුණ පා තියෙනවා කියලා දැනගන්නා තාක් කල් මම ඉදිරිපත් වෙන්න හිතුවේ නෑ. මට ඉස්සරින් කාන්තාවන් නිහඬව හිඳීම නිසා මටත් දුක් විඳින්න සිද්ධ වුනා. තවත් කාන්තාවකටත්  මෙයින් අවරුදු ගානකට හරි මාස ගානකට හරි පස්සේ ඔහු මේ දේ කළ බව දැනගන්න ලැබුනොත් මට ආත්ම ගරුත්වයක් නැති වෙනවා.”

තමන් අනුමැතිය සහිතව ලිංගික හැසිරීම් වල යෙදුනත්, කිසිවකුටත් පහර දී නැති බව එරික් ශ්නයිඩර්මාන් “ද නිව්යෝකර්” වෙත යැවූ නිවේදනයකින් ප්‍රකාශ කර තිබේ.

හිටපු නීතිපතිවරයාට එරෙහිව නෛතික පියවර ගැනීම ගැන සලකා බැලූ නමුත් ඔහු කිසියම් ආකාරයකින් නීති පද්ධතියට සම්බන්ධ හෙයින් ටානියා සෙල්වරත්නම් තීරණය කර ඇත්තේ ඔහු පිළිබඳ චෝදනා ප්‍රසිද්ධියට පත් කිරීමය.

“ලිංගික අපචාර කරපු තැනැත්තා ප්‍රාන්තයේ ඉහලම නීති නිලධාරියා නම් මක් කරන්නදැ?” යි ඇය විමසයි.

එරික් ශ්නයිඩර්මාන් මහත් ප්‍රසිද්ධියට පත්වූයේ කාන්තා හිංසනයට විරුද්ධව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අයකු ලෙසිනි.

Related posts

Comments are closed.

Top