ජාතිවාදී ප්‍රහාරයක් ගැන පැමිණිල්ලක් කිරීමට වරුවක රස්තියාදුවක් | VIDEO

 

ජාතිවාදී අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ලිංගික අතවරකිරීමේ සහ පහරදීමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රජයේ නිලධාරියකුට එරෙහිව පැමිණිලි කිරීමට ගිය දෙමළ කාන්තාවකට සහ දෙමළ මාධ්‍යවේදියකුට පැය ගණනාවක් කල් ගත කිරීමට සිදුවී තිබේ.

එම කල් මැරීමට ගොදුරු වී ඇත්තේ දුම්රියක් තුළදී දෙමළ කාන්තාවකට හිරිහැර කොට මාධ්‍යවේදියාට ජාතිවාදී ලෙස පරුෂ වචනයෙන් බැන වැදුනු ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයකුට විරුද්ධව පැමිණිලි කිරීමට යාපනය පොලිසියට ගිය අවස්ථාවේය.

බ්‍රිතාන්‍ය පුරවැසි එම කාන්තාව අතවරයට මුහුණ පා ඇත්තේ බටහිර කාන්තාවක් ලිංගික හිංසනයට ගොදුරුවූ මිරිස්ස වැල්ලේ සුළු පරිමාන ව්‍යාපාරික ස්ථාන ඉවත් කරමින් සංචාරක පොලිස් මුරපොල වැඩි කිරීමට රජය තීරණය කොට සති දෙකක් ගතවද්දීය.

කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගනිද්දී අතවරයට ලක්වූ බවට චෝදනා කරන කාන්තාව සහ ඇය වෙනුවෙන් මැදිහත්වූ එම මැදිරියේම සිටි වාලම්පුරි මාධ්‍යවේදී උදයරාසා ශාලින් ට ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකරුවා බැන වදිනු දැක්වෙන වීඩියෝවක් ගගන වෙත ලැබී තිබේ.

චෝදනාව එල්ලවී ඇති මාලිගාවත්තේ පදිංචි කරුවකු වන ජයනාත් පෙරේරා “… දෙමලු” සහ තවත් ජාතිවාදී, අසභ්‍ය වචනයෙන් සහ හස්ත මුද්‍රාවෙන් අපහාස කරනු පටිගත වී ඇත.

සිදුවූ අඩන්තේට්ටම පිළිබඳ පැමිණිල්ල භාර දීම සඳහා පැය හතකට ආසන්න කාලයක් ගත කරන්නට සිදුවූ බව මාධ්‍යවේදී උදයරාසා ශාලින් යාපනය පොලිසියෙන් පිටතදී අඟහරුවාදා සවස් වරුවේ මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

යාපනය පොලිසියේ දෙමළ නෑ

දෙමළ බහුතරයක් ජීවත්වන යාපනයේ පිහිටි පොලිස් ස්ථානයේ පැමිණිල්ල ලියා ගැනීමට දෙමළ පොලිස් නිලධාරීන් නැති බවපවසමින් ඔහු මුලින්ම ප්‍රමාද කරවා ඇත.

“අපි මුලින්ම 11 ට ගියා. නුමුත් එතන දෙමළ කතා කරන්න පුළුවන් නිලධාරියෙක් නැති නිසා පැය 4 ක් බලාගෙන ඉන්න උනා,” යි මාධ්‍යවේදී ශාලින් දෙදිනක් තුල දෙවැනි වතාවටත් රජයේ ආයතනයකින් සිදුවූ හිරිහැරය ගැන ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයකු මැදිහත් වන තුරු පොලිසිය පැමිණිල්ල බාරගෙන නැත.

“ ජාතික භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ට මේ ගැන දැනුම් දීලා,  ඇමැතිතුමා නියෝජ්‍ය පොලිස්පතිට කතා කළාට පස්සෙයි පැමිණිල්ල භාරගන්න කියලා නියෝගයක් ලැබුනේ. ඒ අනුව 2.30 ට ආවා. එතනත් රෙකෝඩ් බුක් එක තිබුනේ නෑ.”

පැමිණිල්ල කරන්නට පොලීසි ගිය අවස්ථාවේදීත් ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයා උදයරාසා ශාලින්ට පහර දීමට කඩා පැන තිබේ.

“ඊට පස්සේ එයාව පොලිසියේම වෙන තැනකට අරගෙන ගියා. අත් අඩංගුවට ගත්තාද නැද්ද දන්නේ නෑ,” යි මාධ්‍යවේදියා කියා සිටියේය.

කොළඹ සිට යාපනය බලා ගමන් ගන්නා දුම්රියට වව්නියාවෙන් ගොඩවූ කාන්තාවට ප්‍රවේශ පත්‍ර පරීක්ෂක ජයන්ත පෙරේරා හිරිහැර කරන අවස්ථාවේ මැදිහත් වූ තමන්ට පහර දීමට තැත් කරමින්, ජාතිය හෙලා දකින  පරුෂ වචනයෙන් බැන වැදුනු බව උදයරාසා ශාලින් කියා සිටියේය.

“එතකොට මම මාධ්‍යවේදී හැඳුනුම්පත පෙන්නලා, මේ ගැන පොලිසියට පැමිණිලි කරලා ඔහුට විරුද්ධව කටයුතු කරන්නත් පුළුවන් කියලා තත්වය සංසිඳුවන්න හැදුවා. එතකොට ‘මීඩියා ලොකුද’ කියා මට කුණුහරුපෙන් බැන්නා.”

මීට පෙරද ජාතිවාදී ලෙස කටයුතු කිරීම ගැන දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයාට එරෙහිව පැමිණිලි තුනක් ලැබී තිබෙන බව උදයරාසා ශාලින් වැඩිදුරටත් කියා සිටියේය.

තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන චූදිත ජයනාත් පෙරේරා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින්  9 බදාදා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් පිට මුදා හරින ලදී.

Related posts

Comments are closed.

Top