ජනපති වැඩියෙන් වෙහෙසී ඇත්තේ “ත්‍රස්තවාදී මතවාදය” පැරදවීමටයි

තුන් අවුරුද්දකට වඩා දිගු තමන්ගේ පාලන කාලය යොදවන ලද්දේ දෙමළ ජාතික මතවාදය පරාජය කිරීම සඳහා බව ජනාධිපතිවරයා පවසයි.

“ත්‍රස්තවාදී” ලෙසින් හඳුන්වන ලද එම මතවාදය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට වීරිය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ නව සභාවාරයේ සමාරම්භක දේශනය පවත්වමිනි.

“භෞතික වශයෙන් අප ත‍්‍රස්තවාදීන් පරාජය කළ ද ඔවුන්ගේ මතවාදය සම්පූර්ණ ලෙස පරාජය කිරීම තවමත් සම්පූර්ණ වී නැත,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් කියා සිටියේය.

“පසුගිය වසර තුනහමාරක කාලය තුළ මා වඩාත් උත්සාහ ගත්තේ ජාත්‍යන්තර සහයෝගිතාව තුළ එම මතවාදය පරාජය කිරීම සඳහාය.”

දේශපාලන විසඳුමක්

එම උත්සාහය සාර්ථක වීදැයි පැහැදිලි නොකළ ජනාධිපතිවරයා, දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කෙරෙන දේශපාලන විසඳුමක් සඳහා “එදා මෙදාතුර ජනතාවගේ කැමැත්ත හා එකඟත්වය මත කිසියම් දේශපාලන වැඩපිළිවෙළකට අවතීර්ණ වීමේ අවශ්‍යතාව” පිළිගත්තේය.

“ස්ථාවර රටක පදනම ජාතික සංහිඳියාවයි. සැබෑ ජාතික සංහිඳියාව ඇති කරලීම සඳහා සමානාත්මතාව පදනම් කරගත් දේශපාලනික තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහයන් හඳුන්වාදීම වැදගත් වන්නේය. එම අරමුණු ජයගැනීම උදෙසා දැනට ක‍්‍රියාත්මක පළාත් සභා ක‍්‍රමය ශක්තිමත් කිරීම අද දවසේ අවශ්‍යතාවක් යැයි මම විශ්වාස කරමි.”

වර්තමාන ආණ්ඩුවට වරමක් ලබා දුන් ජනතාවගේ ප‍්‍රධානතම ඉල්ලීම බවට පත්ව තිබූ, ශ‍්‍රී ලාංකික සමාජය යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී, මානවවාදී, සහ වගවීමෙන් යුතු සමාජයක් බවට පත් කරලීමේ කාර්යය පසුගිය වසර තුනක කාලය තුළ සාර්ථකව ඉටු වී ඇති බව, විවේචන මධ්‍යයේ වුවද සියලු දෙනාම පිළිගනු ඇති බවට ජනාධිපතිවරයා  විශ්වාසය පල කළේය.

රජය පිහිටුවීමේදී ජාතික අභියෝග තුනකට මුහුණ දීමට සිදුවී තිබු බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ  ජනාධිපතිවරයා ඒ සෑම අංශයකින්ම සාර්ථක ප‍්‍රතිඵල ළඟා කර ගන්නට පසුගිය වසර තුන ඇතුළත හැකියාව ලැබුනු බව කියා පෑවේය.

“පළමුවැන්න වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීමයි. දෙවැන්න නම් ජාතීන් අතර විශ්වාසය හා සමගිය තහවුරු කිරීමයි. තෙවැන්න වූයේ, දැවැන්ත ණය උගුලකට හිර වූ රටේ ආර්ථිකය යළි නගාසිටුවීමයි. සිව් වැන්න වූයේ, අපට අහිමිව තිබූ ජාත්‍යන්තරය දිනා ගැනීමයි.”

එසේම, මේ සෑම අංශයකම තවත් කළ යුතු වැඩ බොහෝ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හවුල් ආණ්ඩුවේ අසාර්ථකත්වය

තමන්ගේ නායකත්වය යටතේ පිහිටුවන ලද සම්මුතිවාදී ආණ්ඩුව ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද්දේ “යුග පෙරලියක්” ලෙසිනි.

කෙසේ වෙතත්, එහි අනෙක් පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය එහිදී ඉටුකළ කාර්ය භාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ ඇගයීමක් නොකළ ඔහු, “එකිනෙකින් වෙනස් දෘෂ්ටීන්ගෙන් යුතු දේශපාලන පක්ෂවලින්” සමන්විත ආණ්ඩුවේ අසමත් කම පිළිබඳව කනස්සල්ල පල කළේ සම්මුතිය තමන්ට “ආගන්තුක සංකල්පයක්” ලෙස හඳුන්වා දෙමිනි.

“ 2015 වසරේ අගෝස්තු මාසයේදී සිට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය දේශපාලනික හා සමාජයීය මුහුකුරා ගිය බව අප තවමත් ඇති කරගන්නට සමත් වී නැති බව පසුගිය වසර තුන තුළ දී ඇති වු සිද්ධි දාමයන් මගින් නැවත නැවතත් සිහිපත් කොට දෙයි. සම්මුති-ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාකච්ඡාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද ලෝකයේ බොහෝ රාෂ්ට්‍ර පාලනයන්හි පදනම වන කල එය අපට තවමත් ආගන්තුක සංකල්පයක් ලෙස පවතී.”

ජාතික ආණ්ඩුව තුළ සහෝදර පක්ෂ සමගිය සහ සාකච්ඡාව පෙරදැරිව කටයුතු කිරීම සඳහා තම ක්‍රියාමාර්ග වෙනස් කරගත යුතු බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top