සෝභිතා මෙන්ඩිස් ගේ නායකත්වයෙන් කාන්තා හොකී කණ්ඩායමක් බාසිලෝනා යයි

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කාන්තා හොකී කණ්ඩායම ප්‍රථම වරට, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී පැවැත්වෙන EXIN Masters Word Cup තරගාවලියට සහභාගී වීමට නියමිතය.

සෑම වසර දෙකකටම වරක් ලොව පුරා විවිධ රටවල ප්‍රමුඛ ප්‍රවීණයන්ගේ කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය හොකී ක්‍රීඩාව සදහා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියකි.

මෙවර තරගාවලිය ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ හොකී සංගමය විසින් 2012 සිට සංවිධානය කරන මෙම තරගාවලිය ජාත්‍යන්තර හොකී සම්මේලනයේ පුර්ණ අනුමැතිය සහිතව පවත්වන තරගාවලියකි.

විවිධ වයස් සීමාවන් යටතේ පැවැත්වෙන මෙම හොකී ලෝක කුසලාන තරගාවලිය ලොව පුරා රටවල් රැසක ප්‍රවීණයන්ගේ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන දැවැන්තම හොකී තරගාවලිය වේ.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේ + 35 අංශය යටතේ තරග වදින අතර ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ගානා රාජ්‍යයය, ඇමරිකා එක්සත් ජනපදය, සහ සත්කාරක ස්පාඤ්ඤය වැනි හොකී ක්‍රීඩාවේ ප්‍රබල රටවල් රැසක් සමග මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ පස්වරක් ජාතික හොකී නායකත්වයේ කටයුතු කළ සෝභිතා මෙන්ඩිස්ය.

මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ජාතික හොකී නායකයකු වන එම්.ජී.එම්.නලීම් කටයුතු කරයි.

මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 9 බදාදා  ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ නායිකාව වන සෝභිතා මෙන්ඩිස් එහිදී පවසා සිටියේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවගෙන් සිය සංචිතය සමන්විත වන අතර ඔවුන් සමඟ කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර ඉදිරියේ ඔසවා තැබීම තම අරමුණ බවයි.

එමෙන්ම මුල් වරට ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය සදහා සහභාගී වීමට අවස්ථාව හිමිවීම පිළිබදවද ඇය සතුට පළ කලාය.

අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී සම්මේලනය  යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී කණ්ඩායමේ විධායක කමිටුවේ අනුශාසකත්වය දරන්නේ අමාත්‍ය රවුෆ් හකීම්ය.

හිටපු ප්‍රවීන හොකී ක්‍රිඩකයන් ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ගේ දක්ෂතා ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම සිය ප්‍රධාන අරමුණ බව එහිදී  ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී සම්මේලනයේ ලේකම් රුව්යිසා සේලා සදහන් කළාය.

මාධ්‍ය හමුව සඳහා නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ද එක්ව සිටි අතර එහි දී ඔහු කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කරමින් සදහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සත්කාරකත්වය දැක්වීමට තමා අපේක්ෂා කරන බවයි.

Related posts

Comments are closed.

Top