ගිනිපෙට්ටි කර්මාන්තය නිවී යන ලකුනු

ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලුව විසඳිම සදහා තම අමාතාංශය මැදිහත් වී පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සදහන් කරයි.

මෙරට ගිනි පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙන නිෂ්පාදකයන්ට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය වන පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලුවක් නිසා ගිනි පෙට්ටි නිෂ්පාදනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය පසුගිය දා අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යාංශයේදී හමුවී ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.ඩී.ආර්. රාජන් පෙන්වා දී ඇත්තේ පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායන ද්‍රව්‍ය ආනයන ක්‍රමවේදය හා ටෙන්ඩර් පටිපාටියේ ඇති අක්‍රමවත්භාවය පිළිබඳවයි.

ටෙන්ඩර් ක්‍රමයේ ගැටලුවක් 

“ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍යවන අමුද්‍රව්‍යවල ඩෙන්ඩර් සඳහා මිළ ගණන් ඉදිරිපත් කිරීමේදී ඒවා විවෘත කරන මොහොතේ අමුද්‍රව්‍යවල සාම්පල් ඉදිරිපත් කරන්න ඕන. මීට පෙර තිබුණේ ඩෙන්ඩර් සාම්පල් ලෙස පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් ග්‍රෑම් 500 – 1000 (1kg)අතර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටයි. නමුත් දැන් එක් වර්ගයක් කිලෝ ග්‍රෑම් 02ක ප්‍රමාණයක් ටෙන්ඩර් විවෘතකරන අවස්ථාවේදී ලබා දීමට සිදු වෙලා තියෙනවා. මෙම ද්‍රව්‍ය වහා ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍යයන් නිසා එවැනි ප්‍රමාණයක සාම්පලයක් සමහර ගුවන්සේවා මඟින් ගෙන ඒමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ”.

“ඒ වගේම ඒවා (ITI) කාර්මික තාක්ෂණ ආයතනයට යවලා පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ සඳහා සති 3-4 ක පමණ කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට, ණයවර ලිපි ලබා ගැනීමට තවත් කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආයතන සොයා තොග ආ පසුව යළිත් ITIයවා පරීක්ෂා කරන්න ඕන. මේ සියල්ලම සඳහා මාස 03 කට ආසන්න කාලයක් ගත වෙනවා. මෙම ප්‍රමාදයන් නිසා වෙළෙ‍ඳපොළේ අමුද්‍රව්‍ය හිඟයක් ඇති වී ගිනිපෙට්ටි හිඟයක් ඇති වීමටද පුළුවන්. මේ තත්ත්වය නිසා දැන් අපට ගිනි පෙට්ටි නිෂ්පාදනය අත්හැර දැමීමට සිදුවී තියෙනවා. ” ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාතාංශය සදහන් කරන පරිදි ගිනිපෙට්ටි කර්මාන්තය තුළ සෘජු හා වක්‍ර රැකියාවන් කරන පිරිස 8500 ක් පමණ වේ.

ගිනිපෙට්ටි නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟය නිසා කර්මාන්තශාලා වසා දැමුවහොත් එම පිරිසට රැකියා අහිමි වීම අවදානමක් පවති.

එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සදහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, එම රාසායනික අමුද්‍රව්‍ය ගෙන්වීමට ඇති බාධක සියල්ලම ඉවත්කර අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි වෙලාවට ලබා දීමට තමා පළමුවෙන්ම පියවර ගන්නා බවයි.

Related posts

Comments are closed.

Top