විරැකියාව විසඳීමට රැකියා සම්පාදනය කළ යුතු බව අගමැති සොයා ගනී

ශ්‍රී ලංකාවේ පවතින රැකියා ප්‍රශ්නය විසඳීමට නම් රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම පුද්ගලික අංශයේ රැකියා ප්‍රමාණය ද  වැඩි කළ යුතු බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

“ඒවා අර්ථසාධක අරමුදල් හිමි රැකියා බවට පත්කළ යුතුයි. එමෙන්ම ස්වයං රැකියා, කෘෂි කර්මාන්ත, ධීවර කර්මාන්තය ආදියට අප ආධාර උපකාර කළ යුතුයි. මෙම කටයුතු සාර්ථකව ඉටු කරනවා නම් රැකියා ඇති කරමින් ආර්ථිකය සංවර්ධනය කිරීමට අපට අවස්ථාව හිමිවෙනවා.”

ඔහු ඒ බව පවසා ඇත්තේ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට 14 සදුදා අරලියගහ මන්දිරයේදී  සහභාගි වෙමිනි.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක්  නිර්මාණය කරන බව පවසන අගමැතිවරයා පෙන්වා දෙන්නේ  යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ආයෝජනයන් නොලැබුන බවයි.

“කෙසේ වුවත් පසුගිය වසරේ ඩොලර් මිලියන 1900 ක පුද්ගලික ආයෝජන ලබාගැනීමට අපට හැකි වුණා. එය ආරම්භයක් පමණයි. මීට පෙර මෙවැනි ආයෝජන ශ්‍රී ලංකාවේ නොතිබූ නිසා ඒ පිළිබඳව සතුටට පත්විය හැකියි.”

ඩොලර් මිලියන 1900 ක ආයෝජනයක් පුද්ගලික අංශයට, සේවා අංශයට, නිෂ්පාදන අංශයට මීට පෙර ලැබී නැති අතර ඒ අනුව වැඩිම ආයෝජන ප්‍රමාණයක්  මෙරටට හිමිවු වසර ලෙස අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ  2017 වසරයි.

“වැඩිම අපනයන ආදායම ලැබුණේත් 2017 වසරේදීයි. වැඩිම අපනයන සහ පෞද්ගලික ආයෝජන ලැබුණේ 2017 වසරේ දී බව කිව යුතුයි. 2018 වසරේ දී මේ ප්‍රමාණය තවත් වැඩි වනවා. 2019 වසර වන විට තව තවත් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී වැඩි දුරටත් සදහන් කර තිබේ.

Related posts

Comments are closed.

Top