හමුදාවට භාර දී අතුරුදහන් වූ දරුවන් ඇතුළු 280 ක ලැයිස්තුවක් එළි දකී

අවුරුදු නමයකට ඉහතදී ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දීමෙන් අනතුරුව අතුරුදහන් වුවන් සිය ගණනකගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ එක දිනකදී අතුරුදහන් වැඩිම පුද්ගල සංඛ්‍යාව  සඳහන් ලෙස සැලකෙන එම ලේඛනයේ නම් සඳහන්  30 කට ආසන්න පිරිස දෙමළ ළමුන් බව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) කනස්සල්ලෙන් යුතුව පවසයි.

ඉන් කිහිප දෙනකුගේම වයස අවුරුදු 5 ට අඩුය.

2009 මැයි 18 හෝ ඊට ආසන්න දිනකදී භාර වුනු 280 දෙනකුගේ නම් ඇතුලත් එම ලැයිස්තුව එළි දක්වන ලද්දේ ITJP සංවිධානය සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් එක්ව යාපනයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

“එකම වර පුද්ගලයන් සිය ගණනක් එකම ස්ථානයෙන් අතුරුදහන් වනු, රට තුලත්, ඉන් පිටතත් සාක්ෂිකරුවන් ගණනාවක් විසින් සියැසින් දකින ලද, ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද විශාලතම තනි කණ්ඩායම මෙයයි,”  යනුවෙන් ITJP අධ්‍යක්ෂිකා යැස්මින් සූකා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ අපරාධය සම්බන්ධයෙන් රටේ හිටපු හමුදා හමුදාපතිවරයකුගෙන් සහ මුල් පෙලේ යුද සෙන්පතියකුගෙන් ප්‍රශ්න කර වැඩ පටන්ගන්නේ නම්  ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) තම රාජකාරිය නිසියාකාර කරන්නේ දැයි දැනගත හැකි බව ඇය ස්කයිප් මගින් ජොහැන්නස්බර්ග් නුවර සිට සම්බන්ධ වෙමින් යාපනයේ මාධ්‍යවේදීන්ට සහ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට කියා සිටියාය.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ සාපරාධී වගකීම ගැන බරපතල ලෙස සලකන්නේ නම්, විමර්ශනයට ලක් කළ යුතු ප්‍රථම සිද්ධිය මෙය බව අපි OMP කාර්යාලයට ලියා දන්වා යවා ඇත්තෙමු. භාර වන්නන් සහ ඔවුන් භාරගත් යුද හමුදා නිලධාරීන් පුද්ගලිකව ම අධීක්ෂණය කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජනරාල් ජගත් ජයසූරිය ගෙන් ප්‍රශ්න කිරීම මගින් මේ කටයුත්ත ආරම්භ කළ හැකිය.”

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ ප්‍රධානත්වයෙන් යුත් OMP කාර්යාලය විසින් අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ගිය සති අන්තයේ මන්නාරමින් ආරම්භ කෙරිනි.

ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය

යුද්ධාවසානයේ භාරවූවන් භාරගත් හමුදා ඒකකය ලෙස එක්සත් ජාතීන්ගේ විමර්ශනය විසින් නම් කොට ඇති 58 වැනි සේනාංකයට එකල අණ දුන්නේ යුද අපරාධ චූදිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා බව නව වෙබ් අඩවිය එළි දැක්වීම සම්බන්ධයෙන් ITJP නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එල්ටීටීඊයේ දේශපාලන අංශ ප්‍රධානී බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ සීවරත්නම් පුලිදේවන් ඇතුළු නායකයන් හට  වට්ටුවාක්කල් පාලම මත මැයි 18 දා සිටි ශවේන්ද්‍ර සිල්වා අතට අත දෙනු පවා ඇසින් දුටු බව සාක්ෂිකරුවන් විසින් එක්සත් ජාතීන්ට දැනුම් දී ඇති බව එම නිවේදනය පෙන්වා දෙයි.

“ඔහු වාර්තා කළ ඉහළ නිලධාරියා වන ජෙනරාල් ජගත් ජයසූරිය ද, පසුව ආරක්ෂක හමුදා අත්අඩංගුවේ දී  අතුරුදහන් වූ, එල්ටීටීඊ සාමාජිකයන් කණ්ඩායමක් කතෝලික පූජකවරයකු සමග භාරවන අවස්ථාවේ වට්ට්ටුවාක්කල් පාලම මත සිටි බව ඇසින් දුටුවෝ පවසති.”

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇත්තේ 2009 මැයි 18 වැනිදා නඩේසන් හා පුලිදේවන් 58 සේනාංකය විසින් මරාදමන ලද බවය.

කතෝලික පූජක ලෙස ITJP විසින් හඳුන්වා දී ඇත්තේ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමායි.

වට්ටුවාක්කල් වලදී යුද හමුදාවට තමුන් හඳුන්වා දුන් ෆ්‍රැන්සිස් පියතුමා යුද්ධයෙන් තුවාල වූ එල්ටීටීඊ සටන්කරුවන් සහ හමුදා කටයුතු නොකරන එල්ටීටීඊ සාමාජිකයන් කණ්ඩායමක් සමග  එදා උදෑසන රැඳවුම් ස්ථානයේ සිටිනු සාක්ෂිකරුවන් ගණනාවක් විසින් දැක තිබෙන බව ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශනයේ (OISL) දක්වා ඇත.

සම්පූර්ණ ලැයිස්තුව කෝ?

OMP කාර්යාලයේ දෙවැනි ප්‍රමුඛතාව විය යුත්තේ භාරවූවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව යුද හමුදාවෙන් ඉල්ලා සිටීම බව යැස්මින් සූකා අවධාරණය කළාය.

මාධ්‍යහමුවට යාපනයෙන් එක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දී සශිධරන් ප්‍රකාශ කළේ රජයේ කිසිදු ආයතනයක් කෙරේ කිසිදු විශ්වාසයක් නැති බවයි.

“OMP වගේ අභ්‍යන්තර යාන්ත්‍රණ ගැන අපේ කිසි විශ්වාසයක් නෑ. දෙමළ ඡන්ද අරගෙන දිනපු දැන් ඉන්න ජනාධිපති තුමාත්, අපිව පාවා දුන්නා,” යි එක් මාතාවක් කියා සිටියාය.

භාරවුවන්ගේ ලැයිස්තුවක් ඇතැයි යන්න ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම රජයේ ප්‍රධානීහුද ප්‍රතික්ෂේප කරති.

යුද්ධාවසානයෙදී හමුදා අත් අඩංගුවට ගන්නා ලද දෙමළ පිරිසගේ නම් ලැයිස්තුවක් ඉල්ලා පසුගිය සැප්තැම්බරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීමට කොළඹ ගිය ඥාතීන් ගේ නියෝජිත පිරිසකට හිස් අතින් පෙරලා ඒමට සිදුවිය.

තම සමීපතමයන් සොයා ගැනීම පිණිස හබයාස් කෝපස් නඩු පැවරූ ඥාතීන් හට යුද්ධයේ අවසන් දිනයේදී භාරවුවන්ගේ නාම ලේඛනයක් භාර දීම ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය සතියේ කොළඹදී විදේශීය මාධ්‍යවේදීන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කළේ භාර වූ දහතුන්දහසකට අධික හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කොට නිදහස් කර යවන ලද බවයි.

 

Related posts

Comments are closed.

Top