මුස්ලිම් විරෝධී ප්‍රහාර විමර්ශනයේ දී රාජ්‍ය නිලධාරීන් දෙසට ඇස | VIDEO

 

මුස්ලිම් විරෝධී කැරැල්ලක් කන්ද උඩරට ගිනි තැබූ දිනවලදී රජයේ නිලධාරීන් නිසියාකාර රාජකාරිය ඉටු කළේද යන්න පිළිබඳව ඒ ගැන පවත්වනු ලබන පරීක්ෂණයක විශේෂ අවධානය යොමුවී තිබේ.

දිගනින් ඇරැඹී මහනුවර වෙලාගත් පෙබරවාරි – මාර්තු ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට නිසි කලට පියවර නොගත් රජයේ ආරක්ෂක භට පිරිස් කැරළිකාර සිංහල අන්තවාදීන්ට ආධාර කළ බවට රජයේ මැති ඇමතිවරුන් ගේද දෝෂ දර්ශනයට ලක් වූ අතර සන්නද්ධ භටයන් මුස්ලිම්වරුන්ට පහරදෙනු දැක්වෙන වීඩියෝ දර්ශන ද ප්‍රසිද්ධියට පත් වී තිබුනි.

ඒ සම්බන්ධයෙන් මහනුවර පැවති තුන් දින පරීක්ෂණයක් හමාරයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ප්‍රකාශ කළේ කැරළි සමයේ රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාව විමර්ශනයට ලක් වූ බවයි.

“ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමන හේතුන් නිසාද, කවුද මේවට සම්බන්ධ, ඒවගේම මුලික වශයෙන් අපි බලන්නේ රාජ්‍ය බලධාරීන් නිසියාකාරයෙන් මෙවැනි අවස්ථාවලදී ක්‍රියා කළාද,” යන්න සම්බන්ධයෙන් විශේෂයෙන් විභාග කෙරෙන බව ආචාර්ය දීපිකා උඩගම මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් කරන ලද ප්‍රසිද්ධ කැඳවීම අනුව ලැබුනු පැමිණිලි 150 කට වැඩි ප්‍රමාණයෙන් 100 කට අධික සංඛ්‍යාවක් විභාග කරන ලද බව දැනුම් දී සිටි සභාපතිනිය ප්‍රකාශ කළේ විමර්ශනයේ අවසාන නිරීක්ෂණ සහ නිර්දේශ ජනපති, අගමැති දෙදෙනා හට භාර දෙන බවයි.

ප්‍රහාරයට ගොදුරු වූවන් පමණක් නොව කැරැල්ලට හවුල් වූ බවට සැක කෙරෙන අයගේ නියෝජිතයන් ද විමර්ශනයට කැඳවන ලද බව කොමිසමේ සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

පරීක්ෂණ කටයුතු සඳහා කොමසාරිස් ගසාලි හුසේන්, පරීක්ෂණ හා විමර්ශන අංශ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි, නීතිඥ ඒ ඩබ්ලිව් එම් අහමඩ්,  මහනුවර සම්බන්ධීකාරිකා කුමුදුණී විතාරණ හා නීති නිලධාරිනී ප්‍රදීපා වීරවික්‍රම ද දායක වූ බව ගගන මහනුවර වාර්තාකරු පවසයි.

 

Related posts

Comments are closed.

Top